සිරිසේනගේ සුදු සරමින් වසා ගත් 'පිබිදෙමු පොළොන්නරුව' මඟඩිය.


රාජපක්ෂ පාලන සමයේ බාල ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් අසාදු ලේඛණ ගතව තිබූ (බ්ලැක් ලිස්ට්) සිංගප්පූරුවේ විටෝලි නම් සමාගමකින් ඉන්ධන ගෙන්වීම නිසා මෙරට දුම්‍රිය එන්ජින් ගණනාවක් ම හදිසි අලුත්වැඩියා කිරීම් වලට ලක් කිරීමට සිදු වූ අතර එවකට කොළඹ කොටුව සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය බලා ධාවනය වූ සීඝ්‍රගාමි දුම්රියක් භාවිතයෙන් ඉවත් කිරීමට ද සිදු විය.

එම අඩුව පිරවීමට එම දුම්රිය මාර්ගයට නව දුම් රියක් පසුගිය වසර ගණනාවට ම ලැබී නැත.

එවන් පසුබිමක කොළඹ කොටුවේ සිට පොළොන්නරුව දක්වා 'පුලතිසි' නමින් නව සීඝ්‍රගාමී දුම්රියක් සේවයට එක් කිරීම පොළොන්නරුව පමණක් නොව කලාවැව දුම්‍ රිය ස්ථානය ගමනාන්තය කරගත් අපගේ ද පැසසුමට ලක්විය යුත්තකි.

කෙසේ නමුත්, මෙම නව දුම්රියට පැසසුම් කර පසකට වී සිටින්නට සිරිසේන අපට ඉඩ නොතබන්නේ ‘‘පිබිදෙමු පොළොන්නරුව” වැඩ සටහන යටතේ ජාතියට දායාද කිරීමට නියමිත මහා සුදු අලියෙක් හේතුවෙණි.

ඒ අන් කිසිවක් නොවේ ඩොලර් බිලියනයක චීන ණය මත කුරුණෑගල සිට හබරණ දක්වා අලුතින් දුම්රිය මාර්ගයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියයි. හබරණ දී මෙම දුම්රිය මාර්ගය කුරුණෑගලින් මඩකලපුව බලා ගමන් ගන්නා දුම්රිය මාර්ගයට එක් වීමට නියමිතය.

කිලෝමීටර් 88 දිගින් යුත් වන අලින් ගහන වනාන්තර මැදින් සැලසුම් කර තිබෙන මෙම නව දුම්රිය මාර්ගය ඉදිකිරීමෙන් සංචාරකයන්ට සෘජුව දඹුල්ල සහ සීගිරිය දක්වා ගමන් කිරීමේ අවස්ථාව හිමිවන බවත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිට කොළඹට භාණ්ඩ (එළවළු?) ප්‍රවාහනය කිරීමේ හැකියාව ලැබෙන බවත් රජය පවසයි.

නමුත් සත්‍ය නම් මතුපිටින් පෙනෙන සුන්දරත්වය මෙම ව්‍යාපෘතියේ නොමැති වීමයි.

1. සංවර්ධන ප්‍රමුඛතා හඳුනා නොගෙන කරන ව්‍යාපෘතියක් වීම. (ඩොලර් බිලියනයක ණය මුදලක් යට කිරීම සහ එයින් නැවත ලැබෙන ප්‍රතිලාභ)
2. කුරුණෑගල සහ හබරණ දැනට පවතින දුම් රිය මාර්ගයේ දුර කි.මී. 113 කි. යෝජිත දඹුල්ල හරහා මාර්ගය කි.මී.88 කි. නව මාර්ගයෙන් අත්වන දුරේ වාසිය කි.මී. 25ක් පමණි.
3. වන අලින් ගහන වනාන්තර මැදින් සැලසුම් කර තිබීම තුළින් විය හැකි පාරිසරික හානිය. (*අලින්ට මාරූ වීමට පාලම් නිර්මාණය කරන බව පැවසේ)
4. හබරණ සිට සීගිරිය සහ දඹුල්ල වෙත පහසු ප්‍රවේශයක් දැනටමත් පැවතීම.
5. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිට කොළඹට භාණ්ඩ (එළවළු?) ප්‍රවාහනය කිරීම හිතළුවක් වීම.
6. දැනට පවතින දුම්රිය මාර්ගය අනිවාර්‍ය අත් හැර දැමීමකට ලක්වීම. (දැනටත් දුම්රිය වාර 4ක් පමණ ධාවනය කරන දුම්රිය මාර්ගයකි )
7. කලාවැව, අවුකන, විජිතපුර ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංචාරක ගමනාන්ත කිහිපයකට සෘජුව එල්ල විය හැකි බලපෑම සහ එම ප්‍රදේශවල සංචාරක ආර්ථිකයට විය හැකි හානිය.
8. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන අනු නගරයක් වන කැකිරාව දුම්රිය ස්ථානය මඟ හැරීම.

මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා ඩොලර් බිලියනක ගිණි පොලී ණය මුදලක් ලබා ගැනීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇත්තේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මඟින් ත්‍රිකුණාමලය සහ කොළඹ අතර විදුලි දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට යොජනා වී ඇති පසුබිමකය.

විස්මිත කරුණ වන්නේ එම විදුලි දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා දැනට ඇස්තමේන්තු ගත වියදම ඩොලර් බිලියන 5කට පමණ ආසන්න මුදලක් වන විට සිරිසේන ජනාධිපතිවරයාගේ කුරුණෑගල - හබරණ සාමාන්‍ය දුම්රිය මාර්ගයට ඩොලර් බිලියනක වියදමක් ඇස්තමේන්තු ගතව පැවතීමයි.

අනික් අතට එම වියදම වෙනුවෙන් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 480ක පරිත්‍යාගයක් ලැබීමට නියමිත අතර එය නැවත ඇමෙරිකාවට ගෙවීමට ගිවිසුමෙන් බැඳී නැත.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් සංවර්ධන ප්‍රමුඛතා හඳුනා නොගෙන ක්‍රියාත්මක කිරීමට උත්සහ කරන කුරුණෑගල - හබරණ සාමාන්‍ය දුම්රිය මාර්ගයෙන් ජනාධිපතිවරයාට වෙනත් ප්‍රයෝජනයක් ඇත් දැයි අපට නම් සැක සහිතය. මන්ද ජාතික භෞතික සංවර්ධන සැලැස්මටත් පිටින් ඉදිකිරීමට නියමිත මෙම දුම්රිය මාර්ගයෙන් රජරට අපට නම් මේ මහා ණය මුදල යට කර හදන්නට නියමිත සැලකිය යුතු සෙතක් නැති බැවිණි.

යෝජිත ත්‍රිකුණාමල – කොළඹ විදුලි දුම්රිය මාර්ගය ගැන ඊළඟට සවිස්තරව කතා කරමු!

#Vimukthi

No comments:

Post a Comment