මෛත්‍රී සිහින සහ රජරට උරුමය...


මගේ නෑකමට සීයා වන මෛත්‍රීපාල සේනානායක මහතා මා දැක ඇත්තේ එතුමාගේ අවමංගල්‍ය උත්සවයේ දී ය. මගේ මතකයේ හැටියට එතුමා එවකට උතුරුමැද ආණ්ඩුකාරධූරය දැරුවේය....

මේ හදිස්සියේ එතුමා මතක් වුයේ මැතිනිගේ ආණ්ඩුවේ දැවැන්තයෙක් වෙමින් වාරිමාර්ග, විදුලිබල හා මහාමාර්ග ඇමතිකම දැරූ එතුමා දුටු සිහිනයක් තවත් මෛත්‍රීපාල නම් ඇත්තෙක් විසින් මල්පල ගැන්වූ නිසාවෙනි....

1968 දී ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ‘මහවැලි ජල සම්පත් සංවර්ධනය පිළිබඳ ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් ශ‍්‍රී ලංකා ආණ්ඩුවට ඉදිරිපත් කරන ලදි. මෙම සැලසුම මගින් අඹන්ගඟ හරස් කොට ‘බෝවතැන්න ’ හා මොරගහකන්ද ’ යන ජලාශ ද්විත්වය ඉදිකිරීමට යෝජනා කර තිබුණේය.

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශක්‍යතා අධ්‍යයන වාර්තාව තුළ අඹන්ගඟ හරස් කරමින් ඉදිකරන මොරගහකන්ද ජලාශයට ප‍්‍රමුඛ අවධානයක් ලබාදී තිබුණේය. මේ සම්බන්ධයෙන් මෛත‍්‍රීපාල සේනානායක මහතා විශේෂ අවධානයක් යොමු කළේය. මෛත‍්‍රීපාල සේනානායක මහතාගේ අභිප‍්‍රාය වූයේ මොරගහකන්ද ජලාශය ඉදිකොට සැතපුම් 106 ක් දිගට විහිදෙන ‘උතුරු මැද මහ ඇළ’ මගින් පදවිය ප‍්‍රදේශයට ජලය ගෙන ගොස් එම ප‍්‍රදේශයේ උග‍්‍ර ජල හිඟයට තිරසර විසඳුමක් ලබාදීමයි.

එහෙත් 1977 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය බලයට පත්වීම සමග මෛත‍්‍රීපාල සේනානායක මහතාගේ මොරගහකන්ද සිහිනය බිඳ වැටුණේය.

මෛත‍්‍රීපාල සේනානායක මහතාගේ මොරගහකන්ද සිහිනය බිඳ වැටුණ ද එකී සිහිනයම දකින තවත් මෛත්‍රීපාල කෙනෙක් රජරටින් බිහිවිය...

ඒ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ය....

රජරට අපේ මිනිසුන්ගේ වාසනාවට කන්නක් ඇර කන්නක් අහස දෙස බලා ගොවිතැන් කල යුගයට තිතක් තියන්නට අදින් පසු හැකි වනු ඇත...

ජනවාරි 8! ඒ ඓතිහාසික දිනය රජරට ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත...

මොරගහකන්ද සිහිනයක් ම වන්නට ඉඩ නොදුන් මෛත්‍රිපාල සිරිසේන මැතිඳුනි, රජරට අපේ එවුන් වෙනුවෙන් ගොඩාක් පිං!!!

-වේලේ දිග සහ උස

මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් සිදුවන්නේ ඇළහැර පෞරාණික හැරවුම් අමුණට කිලෝමීටර දෙකක් පමණ ඉහළින් අඹන්ගඟ හරහා වේල්ලක් ඉදිකිරීම මගිනි. මොරගහකන්ද ජලාශයේ ප‍්‍රධාන වේල්ල වන මෙය ගල් පිරිවීම මගින් ඉදිකරනු ලබන අතර එය දිගින් මීටර් 470 ක් ද උසින් මීටර් 61.3 ක් ද මුහුණට මීටර් 08 ක පළලකින් ද යුක්ත වේ.

මෙම ප‍්‍රධාන වේල්ලට අමතරව තවත් සැදලි වේලි දෙකක් ඉදිකිරීමට පියවර ගන්නා අතර මෙම වේලි ද්විත්වයේ කොන්ක‍්‍රීට් මගින් ඉදිකරන අංක 01 වේල්ලේ දිග මීටර් 375 ක් ද උස මීටර් 58 ක් ද වන අතර මුදුනත පළල මීටර් 08 ක් වශයෙන් සැලකේ. පස් පිරවීම මගින් ඉදිවන අංක 02 වේල්ලේ දිග මීටර් 275 ක් ද උස මීටර් 21.5 ක් ද වන අතර එහි මුදුනත පළල මීටර් 07 කි.

-ජලධාරිතාව

මොරගහකන්ද ජලාශය වර්ග කිලෝමීටර් 29.5 ක් පුරා පැතිරෙනු ඇති අතර ජලාශයේ පූර්ණ ජලධාරිතාවය ඝන මීටර් දශලක්ෂ 569.9 ක් ( අක්කර අඩි 463,000 ක් * වන අතර සක‍්‍රීය ජලධාරිතාවය අක්කර අඩි 423,000 කි. 
මොරගහකන්ද ජලාශය ඉදිකිරීම සඳහා වැයවන මුළු මුදල රුපියල් මිලියන 33, 872. 6 ක් වශයෙන් ඇස්තමේන්තු කොට ඇත. එයින් සියයට 85 ක් හෙවත් රුපියල් මිලියන 28,952.1 ක් චීන සංවර්ධන බැංකුව විසින් ද සියයට 15 ක් හෙවත් රුපියල් මිලියන 4920.5 ක් දේශීය අරමුදල් මගින් ද ආයෝජනය කිරීමට පියවර ගෙන ඇත.

- පෝෂණය වන වැව් හා දියවර සැපයෙන දිස්ත‍්‍රික්ක

මොරගහකන්ද - කලුගඟ ජලාශය ලංකාවේ සුවිශාලම වාරි සංවර්ධන ව්‍යාපෘතිය වශයෙන් සැලකෙන්නේ මගින් දියවර ලබන ප‍්‍රදේශ හා වැව් සංඛ්‍යාව අනුවය. ඒ අනුව මොරගහකන්ද - කලූගඟ ජලාශයට සම්බන්ධ ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය මගින් ලොකු කුඩා වැව් 1200 ක් ද වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය මගින් ලොකු කුඩා වැව් 303 ක් ද ලග්ගල සංවර්ධන ප‍්‍රදේශ යටතේ වැව් 13 ක් ද පෝෂණය වන බව ගණන් බලා ඇත. 
මොරගහකන්ද - කලූගඟ ජලාශ ව්‍යාපෘතිය මගින් ලංකාවේ ප‍්‍රධාන කෘෂිකාර්මික දිස්ත‍්‍රික්ක 05 ක් ප‍්‍රතිලාභ ලැබීම ද සුවිශේෂ කොට සැලකිය හැකිය. මෙම ජලයෙන් ප‍්‍රතිලාභ ලබන දිස්ත‍්‍රික්ක වශයෙන්, අනුරාධපුරය, පොළොන්නරුව, මාතලේ, ත‍්‍රිකුණාමලය හා කුරුණෑගල දිස්ත‍්‍රික්ක හඳුනාගෙන ඇත.
මෙම දිස්ත‍්‍රික්කයන්හි කෘෂිකාර්මික කටයුතු සඳහා වසර පුරා ජලය සැපයීම මෙන්ම වකුගඩු රෝගයට ගොදුරු වූ ප‍්‍රදේශ වශයෙන් ද සැලකෙන මෙම කලාපයට පිරිසිදු පානීය ජලය ලබාදීමට හැකිවීම ද තවත් සුවිශේෂ මෙහෙවරක් වශයෙන් සැලකිය හැකිය.

-මොරගහකන්ද - කලුගඟ ව්‍යපෘතියේ සංවර්ධන ප‍්‍රතිලාභ

රජරට ඇතුළු ලංකාවේ ප‍්‍රධාන කෘෂිකාර්මික දිස්ත‍්‍රික්ක 05 කට වසර පුරා අඛණ්ඩව වාරි ජලය ලබාදීමේ අරමුණින් දියත් වන මොරගහකන්ද - කලූගඟ ජලාශ ව්‍යාපෘතිය සැලකිය හැක්කේ කෘෂිකාර්මික සංවර්ධනයට අමතරව තවත් අංශ කිහිපයක ඍජු සංවර්ධන ප‍්‍රතිලාභ ලබාදෙන සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙනි.

මෙහි ඍජු ප‍්‍රතිලාභ කෘෂිකාර්මික සංවර්ධනය වෙතින් ලැබෙන බව ඉතා පැහැදිලිය. ඒ අනුව රජරට කලාපයේ හෙක්ටයාර් 82,000 ක් සඳහා යලමහ දෙකන්නයේදීම වාරි ජල පහසුකම් සැපීමට ඇති හැකියාව ප‍්‍රධාන වේ. විශේෂඥයින් විසින් ගණන් බලා ඇති ආකාරයට මෙම ප‍්‍රදේශයන්හි ‘වගා තීව‍්‍රතාවයේ සාමාන්‍ය අගය වන සියයට 100 සිට සියයට 154 දක්වා වන සාමාන්‍ය අගය සියයට 181 දක්වා ඉහළ නැංවීමට අවස්ථාව උදාවේ. මෙහි ඍජු ප‍්‍රතිලාභයක් ලෙස හෙක්ටයාරයකට ලැබෙන වී අස්වැන්න ඉහළ යාමයක් සිදුවේ.

මීට අමතරව මෙම ප‍්‍රදේශවල අතිරේක කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළයාමක් සිදුවනු ඇති අතර මෙමගින් වාර්ෂිකව රුපියල් මිලියන 4000 ක පමණ ආර්ථික ප‍්‍රතිලාභ හිමිවනු ඇතැයි ගණන් බලා ඇත.

-මිරිදිය නිෂ්පාදන

අක්කර අඩි 660,000 ක් පමණ ප‍්‍රදේශයක් පුරා පැතිරෙන මොරගහකන්ද - කලූගඟ ජලාශ මගින් මිරිදිය ධීවර කර්මාන්තයට සුවිශේෂ දායකත්වයක් ලබාගත හැකිය. මේ වන විට ගණන් බලා ඇති පරිදි වාර්ෂිකව ටොන් 3000 ක් පමණ වන මිරිදිය ධීවර අස්වැන්නක් බලාපොරොත්තු වන අතර එහි අගය රුපියල් මිලියන 225 ක් වශයෙන් සැලකේ.

-විදුලිබල උත්පාදනය

ශ‍්‍රී ලංකාව මේ වන විට ජල විදුලිය නිෂ්පාදනයේ උපරිමය සනිටුහන් කොට ඇත. එහෙත් මොරගහකන්ද කලූගඟ ජලාශ ව්‍යාපෘතිය මගින් ටර්බයින් 04 ක් මගින් ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 25 ක ජල විදුලි බලයක් එක් කිරීමට නියමිතය. මෙමගින් වාර්ෂිකව ඉතිරි කෙරෙන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336 ක් පමණ වන බව ගණන් බලා ඇත.

-සංචාරක ව්‍යාපාරය

මොරගහකන්ද - කලුගඟ ජලාශ ව්‍යාපෘතිය සමඟ එම පළාත්වල සංචාරක ව්‍යාපාරයේ පිබිදීමක් අපේක්ෂා කෙරේ. විශේෂයෙන් මෙම ප‍්‍රදේශවලට අයත්, වස්ගමුව ජාතික උද්‍යානය, ගිරිතලේ - මින්නේරිය වනෝද්‍යානය, නකල්ස් කඳුවැටිය ආශ‍්‍රිත රිවස්ටන්, පිටවල පතන හා සේර ඇල්ල වැනි සංචාරක කලාප ද දඹුල්ල පන්සල, දඹුල්ල අන්තර් ජාතික ක‍්‍රීඩාංගනය, කණ්ඩලම සංචාරක හෝටලය ද අන්තර්ගත වන කලාපය මධ්‍යයේ මොරගහකන්ද - කලූගඟ ජලාශය පිහිටුවීම සමග මෙම ප‍්‍රදේශවල සංචාරක ව්‍යාපාරයේ පිබිදීමක් අපේක්ෂා කළ හැකිය.

-මැදිරිගිරිය සංවර්ධනය

මොරගහකන්ද - කලුගඟ ජලාශ සංවර්ධන ව්‍යාපාරයේ සුවිශේෂ ප‍්‍රතිලාභ ලබන ප‍්‍රදේශයක් වශයෙන් මැදිරිගිරිය සැලකිය හැකිය. මොරගහකන්ද - කලූගඟ ව්‍යාපෘතිය වෙනුවෙන් සිය ගේදොර ඉඩකඩම් පරිත්‍යාග කළ ජනතාව වෙනුවෙන් මැදිරිගිරිය බිසෝපුර ප‍්‍රදේශයේ අංග සම්පූර්ණ පහසුකම් සහිත නව නගරයක් ඉදිකිරීම මෙහිදී සුවිශේෂ වේ.

ඒ අනුව මැදිරිගිරිය ප‍්‍රදේශයේ අලූතින් ගොවි පවුල් 3240 ක් පදිංචි කිරීමට නියමිත අතර ඔවුන් සඳහා ගෙවතු ඉඩම් 3240 ක් ලබාදීමට පියවර ගෙන ඇත. මේ සමග පළමු අදියර යටතේ හෙක්ටයාර් 2000 කට දියවර පහසුකම් ද, හිමිවන අතර ප‍්‍රදේශයේ වැව් 31 ක් පිළිසකර කිරීමට ද පියවර ගෙන ඇත. 
මැදිරිගිරිය ප‍්‍රදේශයේ ඇළ මාර්ග කිලෝමීටර් 16. 5 ක් ද සෙසු ඇළ මාර්ග කිලෝමීටර් 59 ක් ද සංවර්ධනය කරන අතර නාගරික සේවා දියුණු කිරීම, මැදිරිගිරිය - කන්තලේ මහා මාර්ගයේ කිලෝ මීටර් 23 ක් සංවර්ධනය කිරීම හා අක්කර 100 කර්මාන්ත පුරයක් ඉදිකිරීමට නියමිතය. 
මේ අනුව මොරගහකන්ද - කලූගඟ ජලාශ ව්‍යාපෘතිය සමග මැදිරිගිරිය බිසෝපුර ප‍්‍රදේශය පුළුල් සංවර්ධනයකට ලක්වනු ඇත.

(තොරතුරු : තුෂාල් විතානගේ ලියු ලිපියක් ඇසුරිණි)