නීතියක් නැති විදුහලේ... නීති පිවිසුම මරු කටේ...

නීතියක් නැති විදුහලේ... නීති පිවිසුම මරු කටේ...


වර්තමාන ශ‍්‍රී ලංකාවේ ශාස්ත‍්‍රීය නීති අධ්‍යාපනය සඳහා කොළඹ, පේරාදෙණිය, යාපනය හා විවෘත විශ්වවිද්‍යාලවල පාඨමාලා පවත්වන නමුත් නීති වෘත්තියට පිවිසීමට ශ‍්‍රී ලංකා රජයෙන් හෝ පිළිගත් බි‍්‍රතාන්‍ය විශ්වවිද්‍යාලයකින් ලබාගන්නා උපාධි සහතිකයක් ප‍්‍රමාණවත් නොවේ. ඒ සඳහා ශ‍්‍රී ලංකා නීති විද්‍යාලයේ පරීක්ෂණවලින් සමත්වීම අනිවාර්යය සාධකයකි. මෙකී පසුබිම තුළ මෙරට නීතිඥවරු බිහිකිරීමේ අවසන් වූත් ඒකීය වූත් බලය නීති විද්‍යාලයට හිමිවන බව පැහැදිලිය. නමුත් අද වනවිට නීති විද්‍යාලය හමුවේ අර්බුද රාශියක් නිර්මාණය වී ඇත්තාක් පමණක් නොව ඒවා ඔඩුදුවාද හමාරය. 

පසුගිය වසර කිහිපය තුළම නීති විද්‍යාලය පිළිබඳ අසන්නට ලැබුණු කතා මෙන්ම නීති විද්‍යාලයෙන් වාර්තා වූ සිදුවීම්ද යහපත් නොවේ. එම සියලූ කාරණා මතු කළේ මෙරට නීති අධ්‍යාපනය අර්බුද රාශියකට මැදිව ඇති බවයි. 2011 වසරේ පවත්වන නීති විද්‍යාලයට ප‍්‍රවේශ වීමේ තරග විභාගයේදී ඉස්මතු වූ අර්බුදයන් මෙරට සමාජගත වූයේ නැත. දෙමළ මාධ්‍යයෙන් ඉදිරිපත් වූ සිසුන් හට වැඩි වාසියක් අත් වූ එම විභාගයේ අවසන් නිගමනය වූයේ පරිවර්තනයේදී එම වාසිය ඔවුන්ට අත් වී ඇති බවයි. 

නැවතත් 2012 වසරේ පැවැත්වූ නීති ප‍්‍රවේශ විභාගයේදී ඉතා අසාමාන්‍ය ලෙස දෙමළ මාධ්‍ය සිසුන් සමත් වූ අතර මුල්ම ස්ථාන සියල්ලක්ම පාහේ ඔවුන් අතර බෙදී ගොස් තිබුණි. එම අවස්ථාවේදී මෙම විභාගයේ අක‍්‍රමිකතාවන් සිදුවූ බවට චෝදනා කළ පාර්ශ්වයන් විසින් එල්ල කළ ප‍්‍රධානතම චෝදනාව වූයේ මුස්ලිම් සිසුන් සඳහා වැඩි අවස්ථාවක් ලබාදීමට අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් මේ සඳහා මූලික වී ඇති බවය. පැහැදිලිවම එම ප‍්‍රතිඵලය තුළ මුස්ලිම් සිසුන් සඳහා වැඩි ඉඩක් නිර්මාණය වී තිබූ අතර ඊට එරෙහිව රට තුළ දැවැන්ත විරෝධතාවක්ද එල්ල විය. එම විරෝධතා නිසාම තවත් සිසුන් 200 ගණනක් නීති විද්‍යාලයට ඇතුළත් කරගැනීමට තීරණය වූ අතර ඒ හේතුවෙන් 2012 වසරේ සිසුන් 600කට ආසන්න සංඛ්‍යාවක් නීති විද්‍යාලයට ඇතුළත් වීමේ අවස්ථාව ලබාගත්හ. 

සාමාන්‍යයෙන් නීති විද්‍යාලයට වාර්ෂිකව බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව 200ත් 250ත් අතර වේ. සිසුන් 250කට ආසන්න සංඛ්‍යාවක් නීති විද්‍යාලයට බඳවාගත්තද 2013 වසරේදී නීති ප‍්‍රවේශය සඳහා පෙනී සිටි සිසුන්ගෙන් නීති විද්‍යාලයට තෝරා ගැනෙන්නේ සිසුන් 177කි. තවත් සිසුන් 45කට පමණ නීතිඥ වෘත්තියට පිවිසීමේ වරම් අහිමි කරමින් ගත් තීරණයට විරුද්ධව මෙම වසරේදීද නීති ප‍්‍රවේශ විභාගයට විරුද්ධව විරෝධතා මතුවන්නේ මෙකී පසුබිමේය. 

ඉන් පළමුවැන්න නම් 1990 වසරේ සිසුන් 701 දෙනෙක් ඇතුළත් කරගෙන තිබුණද ඊට පසු වසරේ 237 දෙනෙකු නීති විද්‍යාලයට ඇතුළත් කරගෙන තිබීමයි. එසේම 2002 වසරේද 344ක ශිෂ්‍ය ප‍්‍රමාණයක් නීති විද්‍යාලයට ඇතුළත් කරගත්තද ඊට පසු වසරේ මෙවැනි කප්පාදුවක් කර නොතිබීමයි. පසුගිය වසර 30 ගණනකම ඉතිහාසය තුළ නීති ප‍්‍රවේශ විභාගයෙන් නීති විද්‍යාලයට තෝරාගත් අවම ශිෂ්‍ය සංඛ්‍යාව මෙවර වීමට, නීති විද්‍යාලයේ ඉඩ පහසුකම් අර්බුදයක් නොවන බව මින් මතුවන ප‍්‍රධානතම තර්කයයි. අනෙක් අතට බලධාරින්ගේම වැරැදි නිසා පසුගිය වසරේ වැඩි වශයෙන් සිසුන් ඇතුළත් කරගැනීමට සිදුවීම හේතුවෙන් මෙවර විභාගයට පෙනී සිටි සිසුන් කප්පාදුවට ලක්කිරීම සාධාරණ තීරණයක්ද නොවේ. 

මෙවර නීති ප‍්‍රවේශ විභාගයෙන් නීති විද්‍යාලය අඩු සිසුන් ප‍්‍රමාණයක් තෝරාගැනීම පිළිබඳ මතුවන ඊළඟ ප‍්‍රශ්නය නම් ‘නීතියේ පසුබිම’ විෂය නිර්දේශය යටතේ පවත්වන අවසන් විභාගයේදී මෙකී කප්පාදුව සිදුකිරීමයි. මෙහිදී නීති විද්‍යාලයකට ප‍්‍රවේශ කරගැනීමේ විභාගයකට වඩාත් සුදුසු නීතියේ පසුබිම අළලා සැකසෙන ප‍්‍රශ්න පත‍්‍රයක්ද නැතහොත් රාජ්‍ය පරිපාලන තරග විභාග සඳහා යොදාගන්නා විභාග ආකෘතියට අයත් සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්ෂණ ප‍්‍රශ්න පත‍්‍රයක්ද යන්න සලකා බැලිය යුත්තකි. කෙසේ හෝ මේ වනවිට නීති ප‍්‍රවේශ විභාගයේ විෂය නිර්දේශය වෙනස් කර හමාරය. ඒ පසුගිය වසරේ ඇති වූ අර්බුදයට විසඳුමක් ලෙස ගෙනය. නමුත් එම තීරණයද හිසේ ඇම්මට මාරු කළ කොට්ටයකට වඩා වැඩි යමක් නොවේ. සාමාන්‍යයෙන් විභාග රටාවකදී විෂය නිර්දේශයක් මාරුවන අවස්ථාවක් යනු දැඩි අවධානයකින් කටයුතු කළ යුතු මොහොතකි. මෙවැනි අවස්ථාවක සාමාන්‍යයෙන් සමත් කරන සිසුන් සංඛ්‍යාවට වඩා තරමක් වැඩි පිරිසක් සමත් කිරීමට පවා බලධාරින් කටයුතු කරන්නේ විෂය නිර්දේශ වෙනස් වීමේදී සිසුන් කෙරෙහි එල්ල වන පීඩාකාරී බව තරමක් හෝ ලිහිල් කිරීමටය. නමුත් නීති ප‍්‍රවේශ විභාගයේදී සිදුවූයේ කැකිල්ලේ තීරණයක් ගෙන තවත් අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් ඇතුළත් කරගැනීමය. 

එසේම වයස අවුරුදු 30ට වඩා වැඩි ශිෂ්‍යයන්ට විභාගයට පෙනී සිටීමට තිබූ අවසාන අවස්ථාවද වූයේ පසුගිය වසරේ නීති ප‍්‍රවේශ විභාගයය. නමුත් එයද මෙවර සිසුන් ඇතුළත් කර ගැනීමේදී කිසිදු අවධානයකට යොමුකර නොතිබීමද කනගාටුවට කරුණකි. 

මෙම අර්බුදය පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදීද කතාබහට ලක්විය. එහිදී විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ පිළිබඳව ප‍්‍රශ්න කළද ඊට අදාළ අමාත්‍යවරයාගෙන් නිසි පිළිතුරක් ලැබුණේ නැත. කෙසේ නමුත් පසුගිය 24 වැනිදා අසාධාරණයට ලක්වූ නීති ප‍්‍රවේශ සිසුන් විසින් නීති විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූ අතර එක් නීති ශිෂ්‍යයෙක් විද්‍යාලයේ වහළය මතට නැගී මෙවර විභාග ප‍්‍රතිඵලවලට විරෝධය පළ කළේය. ඒ අවස්ථාවේදී එතැනට පැමිණි වැඩබලන අගවිනිසුරු ශිරාණි තිලකවර්ධන මහත්මිය පොරොන්දු වූයේ සිසුන්ගේ ගැටලූව පිළිබඳ සාකච්ඡුා කොට තීරණයක් ලබාදෙන බවටයි. එකී පොරොන්දුව පරිදි නීති විදුහලේ විදුහල්පති ආචාර්ය ජයතිස්ස ද කොස්තා, නියෝජ්‍ය විදුහල්පති සහ අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරිවරුන් අතර සාකච්ඡුාවක් සිදුවුවද තවමත් මෙම විභාගයෙන් අසාධාරණයට ලක්වූ සිසුන්ට සාධාරණයක් සිදුවී නොමැත. 

මෙවන් පසුබිමක හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ වැනි විශිෂ්ට දේශපාලනඥයන්ද, සරත් එන්. සිල්වා, ශිරාණි තිලකවර්ධන වැනි දක්ෂ නීතිවේදීන්ද, ලසන්ත වික‍්‍රමතුංග වැනි මාධ්‍යවේදීන්ද බිහිකළ ශ‍්‍රී ලංකා නීති විද්‍යාලය වළපල්ලට යාම වැළැක්විය නොහැකිය. මෙහි ඇති කනගාටුවට කරුණ නම් නීති විද්‍යාලයේ ආදි සිසුවකු රට කරවන සමයේම ශ‍්‍රී ලංකා නීති අධ්‍යාපනයේ මළබෙරය වැයෙමින් පැවතීමයි.

ඇයි අපිට ප‍්‍රතිඵල  නොදෙන්නේ?
  • අමල් සෙනවිරත්න - සභාපති, අසාධාරණයට ලක්වූ නීති ප‍්‍රවේශ ශිෂ්‍ය එකමුතුව.
තෝරාගත්ත ශිෂ්‍යයන්ගේ අධ්‍යයන කටයුතු පවා මේ වෙනකොට පටන් අරන් ඉවරයි. හැබැයි අපි තාමත් මහ පාරේ. ඒ වගේම තාමත් අපේ ප‍්‍රතිඵල නිකුත් කරලත් නැහැ. මේ තෝරාගත්ත ශිෂ්‍යයන් 177 දෙනාගේ විතරයි ප‍්‍රතිඵල නිකුත් කරලා තියෙන්නේ. දැන් මාසයක් වෙනවා ඒ අයට ප‍්‍රතිඵල දීලා. ඇයි අපිට නොදෙන්නේ? අපිට තියෙන ගැටලූව තමයි 2011 - 2012 අධිකරණ අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වාර්තාවේ පැහැදිලිවම තියෙනවා අවම වශයෙන් සිසුන් 225ක් වත් බඳවා ගත යුතුයි කියලා. ඒ වාර්තාවත් පැහැර හැරලා තමයි මේ 177 දෙනා බඳවාගෙන තියෙන්නේ. මේ අත්තනෝමතික තීරණය නිසා ළමයි 8000ක්ම අද මානසික පීඩනයකට ලක්වෙලා ඉන්නේ. අපි ඉල්ලන්නේ සාධාරණය.


එළියෙන් එන අයට ඉඩදෙන්නයි මේක කළේ.

  • මහේෂ් කුමාර මන්ත‍්‍රීරත්න - අසාධාරණයට ලක්වූ ශිෂ්‍යයෙක්.

මේ කරන්න හදන්නේ නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක්. රාජ්‍ය අධ්‍යාපනය හකුළන එකේ තවත් පියවරක්. ලන්ඩන් ඛඛගඊ ඩිග්රි එක කරලා, එළියෙන් එන අයට ඉඩදෙන්න  ඕන නිසා තමයි මේ කප්පාදුව කරලා තියෙන්නේ. ලක්ෂ පහළොවක් ගෙවලා නීති උපාධි කරන්න මේ රටේ බහුතරයකට හැකියාව නැහැ. ඇයි මේ දුප්පත් ළමයින්ගේ අධ්‍යාපන අයිතිය විනාශ කරන්න හදන්නේ? අපි අහන්නේ ඒක. මේක පිටිපස්සේ දේශපාලනික කුමන්ත‍්‍රණ නැහැ. මේක ශිෂ්‍ය ඉල්ලීමක්. 

විමුක්ති දුෂාන්ත රාවණසිංහ.
රන්දිව, 2014 මාර්තු 02 වැනිදා ඉරිදා.

No comments:

Post a Comment