බිලියනයක මුහුණු එකතු කළ ෂූකර්බර්ග්ගේ කථාව.

බිලියනයක මුහුණු එකතු කළ ෂූකර්බර්ග්ගේ කථාව.


ලොව විශාලතම ඔන්ලයින් සමාජ ජාල වෙබ් අඩවිය ලෙස ගිනස් වාර්තා පොතට එක්ව තිබෙන්නේ facebook වෙබ් අඩවියයි. බිලියන 1.2ක යාවත්කාලීන වන පරිශීලකයන් ප‍්‍රමාණයක් ෆේස්බුක් සතුය. ඒ අතින් ගත්විට ෆේස්බුක් යනු වෙනම රාජ්‍යයක් තරමටම විශාලය. facebook දස වසරක සංවත්සරය පසුගිය සතියේ සැමරුණි. ඒ නිසාම facebook නිර්මාණකරුවා ගැන සොයා බැලීමට අපි තීරණය කළෙමු. 




1984 වසරේ මැයි 14 වැනිදා උපන් මාර්ක් එලියට් ෂූකර්බර්ග් තම ළමා කාලය ගෙවා දමන්නේ නිව්යෝර්ක් නගරයට නුදුරු ‘වයිට්ප්ලෙන්ස්’ ප‍්‍රදේශයේය. සහෝදරියන් තිදෙනකුගෙන් යුතු පවුලක එකම පිරිමි දරුවා වූ ෂූකර්බර්ග්ගේ පියා දන්ත වෛද්‍යවරයකු වූ එඞ්වඞ් ෂූකර්බර්ග්ය. ෂූකර්බර්ග් කුඩා කල සිටම ඉගෙනීමේ රුසියකු වූ නිසාම ඔහු ප‍්‍රාථමික අධ්‍යාපනය ලැබූ Ardsley උසස් විද්‍යාලයේ හොඳම ශිෂ්‍යයෙකු විය. පසුව උසස් අධ්‍යාපනය සඳහා Phillips Exeter ඇකඩමියට ඇතුළු වන ෂූකර්බර්ග් ගණිතය, භෞතික විද්‍යාව, තාරකා විද්‍යාව යන විෂයයන් සඳහා සම්මානලාභියා වූ අතර ප‍්‍රංශ, ලතින් හා සම්භාව්‍ය ග‍්‍රීක යන භාෂා හොඳින් කියවීමේ හා ලිවීමේ නිපුණයෙක්ද විය. 

‘මම මුලින්ම සොෆ්ට්වෙයාර් එකක් නිර්මාණය කරන්න පටන් ගත්තේ කනිෂ්ඨ අධ්‍යාපනය ලබන කාලයේදී. ඒ 1990 අවුරුද්දේදී විතර. කොහොමත් මම ඒ කාලේ වෙනකොට පරිගණකවලට ඇබ්බැහි වෙලා හිටියේ. ඒ වගේම මට අලූත් දේවල් කිරීමේ ලොකු කැමැත්තක් තිබුණා. හැබැයි මම ඒ කැමැත්ත තියාගෙන නිකන් හිටියේ නැහැ. ඒකට උනන්දු වුණා. මම සාර්ථකව අවසන් කරපු පළමු සොෆ්ට්වෙයාර් සිස්ටම් එක වුණේ තාත්තාගේ ඩෙන්ටල් එකට හදපු 'Zuck Net' කියන පද්ධතිය. ඒ හරහා ගෙවල්වල සිට ඩෙන්ටල් එකත් එක්ක ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. මම හිතන විදියට ඒක ඒ කාලේ විප්ලවීය නිර්මාණයක් වුණා. ඊට පස්සේ මම පරිගණක ක‍්‍රීඩා පවා නිර්මාණය කළා. මගේ පාසලේ සමහර අය මම නිර්මාණය කරපු වීඩියෝ ගේම්ස් සෙල්ලම් කරනවා මම දැකලා තියෙනවා. ඒ වගේම එයාලා ඒවා ගැන කතා කරනවත් මම අහලා තියෙනවා. හැබැයි ඒ අයගෙන් ගොඩදෙනෙක් දැනගෙන හිටියේ නැහැ මමයි ඒවා හැදුවේ කියලා’

Intelligent Media Group නමින් පාසල් වියේදීම ව්‍යාපාරයක් ආරම්භ කරන ෂුකර්බර්ග් එහි නිෂ්පාදනයක් ලෙස Synapse Media Player නමින් පරිගණක වැඩසටහනක් නිර්මාණය කළා. එහි සුවිශේෂී ලක්ෂණය නම් පරිශීලකයාගේ ක‍්‍රියා කලාපය තේරුම් ගැනීමට සමත් වීමය. මේ නිසාම මයික්‍රෝසොෆ්ට් සමාගම හා AOL සමාගම ෂූකර්බර්ගේ පරිගණක වැඩසටහන මිලදී ගැනීමට ඉදිරිපත් වුණා පමණක් නොව ඔවුන්ගේ සමාගම්වලට එක් වන ලෙසද ඉල්ලීමක් සිදුකළ නමුත් ෂූකර්බර්ගේ එම ඉල්ලීම් දෙකම පසෙකළා හාර්වඞ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙස අධ්‍යාපනය ලැබීමට තීරණය කළ අතරම ඔහුගේ පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීමේ කටයුතු දිගින් දිගටම කරගෙන යාමටත් උනන්දු විය. ෆේස්බුක් වෙබ් අඩවිය නිර්මාණය කිරීම පිළිබඳ මුල් අදහස 2003 වසරේදී ඔහුට පහළ වන්නේ තමන් විසින්ම නිර්මාණය කළ Facemash නම් ඡුායාරූප හුවමාරු කරගනු ලබන වෙඞ් අඩවිය හේතුවෙනි. 

‘ෆේස්බුක් එක හදනකොට මමත් හිතුවේ නැහැ මේක මේ තරමටම ජනප‍්‍රිය වෙයි කියලා. මුලින්ම ෆේස්බුක් එකේ තිබුණේ ඡන්දයක්. ඒ ගොඩක්ම ‘හොට්’ කවුද කියලා තෝරන්න. මම සයිට් එකට ගැහැනු ළමයි දෙන්නෙකුගෙයි, පිරිමි ළමයි දෙන්නෙකුගෙයි ෆොටෝස් දාලා එයාලාගෙන් ‘හොට්’ කවුද කියලා වෝට් කරන්න හාර්වඞ් එකේ මගේ මිත‍්‍රයන්ට ආරාධනා කළා. ඒක තමයි ෆේස්බුක් එකේ ආරම්භය. නමුත් දවස් තුන හතරකින් මට ෆේස්බුක් එක වහලා දාන්න සිද්ධ වුණා. ඒකට හේතුව තමයි මම අනවසරයෙන් ෆොටෝස් පළ කළා කියලා අර ෆොටෝස්වල හිටිය අය හාර්වඞ් එකට පැමිණිලි කිරීම. හැබැයි ඊට දවස් හයකට පස්සේ මම ෆේස්බුක් එක ආපහු අන්තර්ජාලයට නිකුත් කළේ හාර්වඞ් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨයන් 3 දෙනෙකුත් එක්ක. අන්තිමට ඒක වැඩ කළා. මුළු හාර්වඞ් එකම පැය කිහිපයකින් ෆේස්බුක් එකට එකතු වුණා. ඊට පස්සේ තමයි ෆේස්බුක් එක හැමෝටම විවෘත කළේ’ 

ඇමෙරිකානුවෙක් වූ ෂූකර්බර්ග්ට ඔහුගේ ජීවිතය හා සමාන කරන බිරිඳ හමුවන්නේ චීනයේදීය. ඇය මැන්වරීන් සම්භවයක් ඇති චාන්ය. ඔවුන් 2012 වසරේ මැයි 19 වැනි දින විවාහ විය. අද වනවිට ෂූකර්බර්ග් ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ ළාබාලතම පුද්ගලයා ලෙස වාර්තා ගත වී ඇත. බරක් ඔබාමාගේ දේශපාලන ප‍්‍රතිපත්තිවලට තමන් ප‍්‍රිය කරන බව ෆේස්බුක් ගිණුමේ දක්වා ඇති ෂූකර්බර්ග් දැඩි කොන්සර්වේටිව් මතධාරියෙක් ලෙසටද ප‍්‍රකටය. ෂූකර්බර්ගේ ජීවිතයේ අපට ගත හැකි යමකට වඩා නැවතත් සිහිකර දෙන ඔවදනක් ඇත. ඒ කුමාරතුංග මුණිදාස සුරුවන් පැවසූ ‘අලූත් අලූත් දෑ කොතනන ජාතිය ලොව නොනගී’ යන්නයි.


විමුක්ති දුෂාන්ත රාවණසිංහ.
Randiwa U, 16TH FEBRUARY 2014

No comments:

Post a Comment