Veyangoda fly over

වේයන්ගොඩ ගුවන් පාලම වේයන්ටද? නෑයන්ටද?



ජාතික වශයෙන් වැදගත් වන ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාගැනීමේදී එකී පාලන තන්ත‍්‍රය බලාපොරොත්තු වන්නේ හැකි තරම් ණය තුළින් අහිමි වන දෙයට වඩා වැඩි යමක් එකතු කර ගැනීමය. ව්‍යාපෘතියක් සඳහා ලබාගත් ණයක් තුළින් අප ඉතා ඉක්මනින් එම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කොට එහි ප‍්‍රතිලාභ බලාපොරොත්තු වන්නේ එය රටේ ආර්ථිකයට ශක්තියක් වන නිසාය. මෙරට සමස්ත ණය බර දරාගත නොහැකි තත්ත්වයක තිබියදී මෙකී කාරණය වඩාත් අදාළය. එහෙත් හුදු දේශපාලන වාසි තකා ආර්ථිකයට හානි වන අයුරින් කටයුතු කිරීම සුදුසු වන්නක් නොවේ. එකී හේතු සාධක හේතුවෙන් වේයන්ගොඩ ගුවන් පාලම විවෘත නොකර කල් මැරීම ගැන හෙළිදරව් කිරීමට ‘රන්දිව’ තීරණය කළෙමු. 



මෙරට ගුවන් පාලම් ඉදි කෙරෙන්නේ අධික වාහන තදබදයට පිළියමක් ලෙසිනි. මහින්ද චින්තන ප‍්‍රතිපත්ති මාලාව ප‍්‍රකාරව මෙරට අධික වාහන තදබදයක් තිබූ පෑලියගොඩ, නුගේගොඩ, දෙහිවල ආදි නගරවල ගුවන් පාලම් ඉදිවන්නේද එකී ප‍්‍රතිපත්තියේ ආනුභාවයෙනි. නමුත් මෙසේ ඉදිකර වැඩ අවසන් කරන ලද ගුවන් පාලමක් ජනතා අයිතියට මාස හයක පමණ කාලයක් තිස්සේ පත්කර නොසිටීම පිළිබඳ මතු කරන්නේ අර්බුදකාරී තත්ත්වයකි.


මෙම ව්‍යාපෘතිය මහාමාර්ග වරාය හා නාවික අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වූවක් වන අතර මහින්ද චින්තන ප‍්‍රතිපත්ති මාලාවට අනුගත වෙමින් දීපව්‍යාප්තව නවීන මාර්ග ජාලයක් ස්ථාපනය කරමින් ශ‍්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීමේ පෙර ගමන්කරුවකු වීම එම අමාත්‍යාංශයේ දැක්මයි. එහෙත් මෙම අමාත්‍යාංශය වේයන්ගොඩ ගුවන් පාලම පිළිබඳ දක්වා ඇති උනන්දුව පිළිබඳ සලකා බැලූවහොත් ජනාධිපතිවරයා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අමාත්‍යාංශයක් වුවද එය ප‍්‍රශස්ත උනන්දුවක් යැයි කීමට නොහැකි තරම් කනගාටුදායකය. මෙරට ප‍්‍රධාන දුම්රිය මාර්ගය මරදාන - පොල්ගහවෙල දුම්රිය මාර්ගයේ ප‍්‍රධානතම දුම්රියපොළක් ලෙස වේයන්ගොඩ හඳුන්වාදිය හැකිය. දිනකට දහස් ගණනක් මගීන් හුවමාරුවන වේයන්ගොඩ දුම්රියපොළ හා දුම්රිය මාර්ගය නිසා මහා මාර්ගය ප‍්‍රවාහන මාධ්‍යයක් ලෙස භාවිත කරන ජනතාවට මතුවන්නේ දැඩි අර්බුදකාරී තත්ත්වයකි.

නිට්ටඹුව සිට මීගමුවට හා ජා-ඇළ නගරවලට ප‍්‍රවේශ වීම සඳහා පවතින ප‍්‍රධාන මාර්ගය මෙන්ම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ප‍්‍රවේශ වීම සඳහා නුවර - කොළඹ ප‍්‍රධාන මාර්ගයෙන් ඇති ප‍්‍රධානතම මාර්ගය ලෙසද මෙම ගුවන් පාලම ඉදිකර ඇති මාර්ගය හඳුන්වාදිය හැකිය. එසේම දැනට මෙම ගුවන් පාලම වාහන ගමනාගමනය සඳහා විවෘත කර නොතිබීම නිසා වේයන්ගොඩ නගරයේ පවතින්නේ දැඩි රථ වාහන තදබදයකි. විශේෂයෙන් දිනකට අවම වශයෙන් 100 වතාවක්වත් මෙම ප‍්‍රධාන මාර්ගය වසා දැමීමට සිදුවන්නේ දුම්රිය ගමනාගමනය සිදුවන නිසාය. මෙසේ දුම්රිය මාර්ගය විනාඩි 5ක කාලයක් සඳහා එක් වරකට වසා දැමුවොත් දිනකට ආසන්න වශයෙන් මෙම මාර්ගය වසා දමන විනාඩි ගණන 500කි. පැය නම් 8කටත් අධික කාලයකි. දිනකට පැය අටක් ප‍්‍රධාන මහා මාර්ගයක් වසා දැමීම නිසා මෙරටට අහිමි වන ඵලදායිතාව ගණනය කළහොත් එය දින කිහිපයකින්ම මෙම ගුවන් පාලමේ වටිනාකම ඉක්මවා යනු ඇති බව අපේ හැඟීමයි.

ස්පාඤ්ඤ රජයේ ණය ආධාරයක් මත ඉදිකළ මෙම වේයන්ගොඩ ගුවන් පාලමේ දිග මීටර් 255කි. ඇස්තමේන්තුගත මුළු වියදම යුරෝ 11,223,177කි. ආසන්න වශයෙන් රුපියල්වලින් නම් එකසිය අනූ කෝටි හැත්තෑ නව ලක්ෂ හතළිස්දහස් අනූවකි. එම මුදල් ඇස්තමේන්තුව අනුව මෙම ගුවන් පාලමේ ඉදිකිරීම් ආරම්භ වන්නේ 2012 වසරේ ඔක්තෝබර් 23 වැනි දිනය. ව්‍යාපෘති කාල සීමාව මාස 14ක් වූ අතර ඒ අනුව වැඩ අවසන් කිරීමට නියමිත දිනය 2013 වසරේ දෙසැම්බර් මස 23 වැනි දිනය ලෙස සඳහන් වේ. නමුත් මෙම ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු 2013 වසරේ ජූලි මස අගභාගයේදී නිමා කර ඇති අතර එය ඔක්තෝබර් මාසය වනවිට ජනතා අයිතියට පත් කිරීමට හැකි බව වරාය හා මහා මාර්ග අමාත්‍යාංශය එම අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් පෙන්වා දී තිබුණි. නමුත් මෙම ගුවන් පාලම මේ වනවිට වැඩ අවසන් කර සෑහෙන කාලයක් වුවද තවමත් පාලම ජනතා අයිතියට පත් කිරීමේ සූදානමක් නොමැති අතර ගුවන් පාලමේ ප‍්‍රවේශ මාර්ගය මාර්ග බාධක මෙන්ම පොල් කොටන් පවා යොදමින් වසා දමා ඇති අතර ඇතුළු වීම තහනම් කරමින් පුවරුවක් පවා එල්ලා ඇත.

තත්ත්වය මෙසේ තිබියදී අප වේයන්ගොඩ ප‍්‍රදේශවාසීන් කිහිප දෙනෙක්ගෙන් මෙම ගුවන් පාලම පිළිබඳ විමසීමක් කළද කිසිවෙකු තම නමින් ප‍්‍රකාශ ඉදිරිපත් කිරීමට මැලි වූයේ අදාළ ප‍්‍රදේශයේ දේශපාලන බලවතුන්ගේ ක‍්‍රියා කලාපය නිසා දැයි අපි නොදනිමු. එහෙත් එකී ප‍්‍රදේශවාසීන් ඔවුන්ගේ අනන්‍යතාව හෙළි නොකරමින් ප‍්‍රකාශ කළ ඇතැම් කරුණු මෙහි සඳහන් කරන්නේ මෙම සිදුවීමේ අවසන් විනිශ්චයට ඔබට එය වැදගත් විය හැකි නිසාය.



මෙම ගුවන් පාලම ආසන්නයේ ජංගම පලතුරු වෙළෙඳසලක් පවත්වාගෙන යන අයකු අප සමග පැවසුවේ මෙවැනි කතාවකි.


‘මේ පාලම හදලා ඉවර වුණාට පස්සෙ සරණ ගුණවර්ධන ඇමැතිතුමා ඇවිල්ලා වාහන පාලම උඩින් යවලා ආපහු පාර වහලා දාලා ගියා. මේක ඡන්දය කිට්ටු වෙලා විවෘත කරන්න බලන් ඉන්නවා කියලා තමයි මිනිස්සු කියන්නේ. දැන් කතාවක් තියෙනවා 14 වැනිදා මේක විවෘත කරනවා කියලා. ඒත් ඔයිට කලිනුත් ඔහොම ආරංචියක් ආවා. හැබැයි පාලම විවෘත කළේ නම් නැහැ’

අපට මෙකී පාලම සම්බන්ධයෙන් ඊළඟට අදහස් විමසීමට හැකි වූයේ ප‍්‍රදේශවාසියකුගෙනි.

‘ඔය පාලම ආයෙත් කඩන්න යනවා කියලත් කතාවක් තියෙනවා. මොකද පාලම ප‍්‍රධාන මාර්ගයට සම්බන්ධ කරල තියෙන තැන් දෙකම පටු මංසන්ධි දෙකක්. ජා-ඇළ පාරට වැටෙන පැත්ත හරිම පටුයි. ඕක හදලා ඉවර කරලා මාස ගාණක් අපි පාලම දිහා බලාගෙන හැමදාම පැය ගණන් ට‍්‍රැෆික් එකේ රස්තියාදු වෙනවා’

මෙම පාලම විවෘත කිරීමට නොහැකි වී ඇති සැබෑ හේතුව කුමක් දැයි නොදනිමු. එය දේශපාලන හේතු සාධකයක්ද එසේත් නැතිනම් මෙම පාලමේ ප‍්‍රමිතියේ හෝ සැලසුමේ ගැටලූවක්ද යන කවරක් වුවද අප හමුවේ ඇති පැනය නම් මෙම පාලම සම්බන්ධයෙන් තවමත් කිසිදු කි‍්‍රයාමාර්ගයක් බලධාරින් නොගෙන තිබීමය. මෙම ගුවන් පාලම ඉදිකිරීම නිසා මෙරට ආර්ථිකයට හිමිවීමට තිබූ ආර්ථික වාසිය අත්පත් කරගැනීමට රටේ ආර්ථිකය අවදානම් අඩියක පැවතියදී පවා ආණ්ඩුව උත්සහ නොකිරීම ආශ්චර්යවත් කරුණකි. තවත් කල්යල් නොයවාම අදාළ ගුවන් පාලම විවෘත කිරීමට හෝ ව්‍යාපෘතියේ ගැටලූ ඇත්නම් ඒවාට නිසි පිළියම් යෙදීමද ප‍්‍රමාද කළ යුතු කරුණක් නොවේ. මන්ද මෙම පාලම නිසා ජාතික ආර්ථිකයට හිමි වන ශ‍්‍රම පැය ලක්ෂ ගණනක වාසිය අත්හැරීම මෙරට ආර්ථික තත්ත්වයට සුදුසු නොවන බැවිනි.

පාලම 16 වැනිදා විවෘත කරනවා.
  • අමාත්‍ය නිර්මල කොතලාවල - මහාමාර්ග වරාය හා නාවුක අමාත්‍යාංශය.


මේ ජනවාරි 16 වැනිදා අපි වේයන්ගොඩ ගුවන් පාලම විවෘත කරනවා. ඔය පාලම හදලා ඉවර වුණා කියලා විවෘත කරන්න බැහැ. ඒකට අවශ්‍ය අනෙකුත් සේවාවන් අපි සපයන්න ඕනෙ. ඒකට යම් කාලයක් ගත වෙනවා. ඒ සියලූ සේවාවන් එකතු වුණාට පස්සේ තමයි අපි විවෘත කිරීමක් කරන්නේ. ඒ තත්ත්වය සියලූ දෙනා තේරුම් ගත යුතු වෙනවා.

ඡන්දය එනකම් විවෘත කරන්න බලන් හිටියේ නෑ.
  • සරණ ගුණවර්ධන - නියෝජ්‍ය අමාත්‍ය ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යංශය.


මේ මාසේ 16 වැනිදා සවස 6.00ට ගුවන් පාලම ජනතා අයිතියට පත් කරන්න අපි සැලසුම් කරලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ සුරතින් තමයි මේක විවෘත වෙන්නේ. මේක ඔය කියනවා වගේ ඡුන්දය එනකම් විවෘත කරන්න හිටියේ නැහැ. ජනාධිපතිතුමා මැදපෙරදිග සංචාරය නිමා කරලා ලංකාවට එනකම් අපිට මේක විවෘත කරන්න බැහැ. මේක දේශපාලනික කාරණාවක් නෙමෙයි. අපි මෙතැන රථ වාහන ගමන් කරන ආකාරය, වාහන හසුරුවන්න ඕනෙ කොහොමද කියලා අධ්‍යයනය කළා. ඒ අධ්‍යයනය අපි එක පාරක් දෙපාරක් නෙමෙයි හතර පස්වතාවක් කළා. ඒකයි කල් ගත වුණේ. දැන් අපි හිතනවා මේක විවෘත කරන්න පුළුවන් තත්ත්වයක තියෙනවා කියලා.


විමුක්ති දුෂාන්ත රාවණසිංහ.
රන්දිව News, 2014 ජනවාරි 12 වැනිදා ඉරිදා.

No comments:

Post a Comment