Iki Gasa Hadana

මට මගේ නොවන මගේම ගීතයක් තිබුණා.
චන්ද්‍රරත්න ජයසිංහ රන්දිවට කතා කරයි.


කලා ලොව සිදුවන නිර්මාණ මංකොල්ල කෑම සහ හොරකම යන්න ප‍්‍රසිද්ධ රහසක්ය. ශුද්ධ වූ සියල්ල මහදවාලේ කෙළෙසෙමින් ඇති සමාජ වටපිටාවක මෙවැන්නක් සිදුවීම පිළිබඳ අප පුදුම වන්නේ නැත. පුදුම විය යුතු වන්නේ එසේ සිදු නොවන්නේ නම්ය. පසුගිය දිනක අප පුවත්පත් කාර්යාලයට පැමිණි පුද්ගලයකු ද තමන්ට සිදුවූ එවැනි අවැඩක් පිළිබඳ අපට දැනුම් දෙනු ලැබීය. ඔහුගේ අවනඩුව වූයේ ‘මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා’ ගීතයේ පද රචකයා ලෙස අමිල තේනුවර නම් පුද්ගලයකුව සඳහන්ව තිබුණත් එහි සැබෑ පද රචකයා තමන් බවය. ඊට අදාළව ‘ඔහුට ඔහුගේම වූ කතාවක්’ තිබුණු අතර එනිසාම මෙවර ‘රන්දිව’ ගවේෂණ වෙන්වනුයේ ඒ වෙනුවෙන්ය.


අප කාර්යාලයට පැමිණි පුද්ගලයා ‘මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා’ ගීතයේ සැබෑ හිමිකරුද? නැතහොත් මොහු ජනප‍්‍රිය වීම සඳහා කෙටි මඟක් ලෙස මෙකී පෙනීසිටීම සිදුකරනවාද? එසේත් නැතිනම් ඔහුට කුමන හෝ තැනකදී වැරැුදීමක් හෝ නොමඟ යෑමක් සිදුවී ඇතිද? අපි මෙම කටයුත්තට මුලපිරුවෙම එකී කරුණු හළිදරව් කරගැනීමේ චේතනාවෙන් යුතුවය. කුමන හෝ පාර්ශ්වයකට අසාධාරණයක් සිදුවේ නම් එය වළක්වාලීම අපගේ පළමු පරමාර්ථයම විය. විශේෂයෙන්ම ඒ වනවිටත් මෙරට ජනප‍්‍රිය ගුවන් විදුලි සේවයක ගවේෂණ වැඩසටහනක් මේ ගැන පළමු වරට හෙළිදරව් කර තිබීම හේතුවෙන් ඉන් එහාට මෙහි සත්‍ය අසත්‍යතාව හෙළිදරව් කරගැනීමේ අභියෝගයද අප හමුවේ තිබිණ.


මෙහිදී අප පළමුව ඔබ වෙත ගෙන එන්නේ අප පුවත්පත් කාර්යාලයට පැමිණි පුද්ගලයා අපට කී කතාවය. ‘මගේ නම ජයසිංහ මුදියන්සේලාගේ චන්ද්‍රරත්න ජයසිංහ. ගම නිකවැරටියේ උගුරැස්සාව. මම ඉස්කෝලෙ ගියේ නිකවැරටිය කැලේගම කනිෂ්ඨ විද්‍යාලයට. පස්සෙ උසස් පෙළ කරන්න කුරුණෑගල විශුද්ධායන මහා පිරිවෙනට ගියා. උසස් පෙළ පාස්වෙලා පළමු වැනි උපාධිය ගත්තෙ රුහුණු විශ්වවිද්‍යාලයෙන්. ඒ බෞද්ධ දර්ශනයට ගෞරව උපාධියක් විදිහට. දැන් මම කැලණිය විශ්වවිද්‍යාලයේ එම්ෆිල් කරනවා. ඒ වගේම ගාල්ල බද්දේගම කිරිබතාවිල ශ‍්‍රී අමරවංශ මහ පිරිවෙනේ ගුරුවරයකු විදිහට කටයුතු කරනවා’ ඒ ඔහු තමන් කවුදැයි යන්න අපට හඳුන්වා දුන් ආකාරයය. තමන්ට සිදුවූ අවනඩුවට අදාළ කතාව ඔහු අප සමග පවසන්නට යෙදුනේ ඉන් අනතුරුවය.

‘මම කැලණි විශ්වවිද්‍යාලයට ආපු කාලේ හඳුනා ගත්ත මිස් කෙනෙක්ගේ ඥාතියෙක් තමයි ප‍්‍රබෝධ කහඳගම කියන්නේ. ඇත්තටම අපි යාළුවො වගේ හිටියේ. ප‍්‍රබෝධම තමයි මම අද කරන මේ රස්සාව හොයල දුන්නෙත්. එතැනදී මට රස්සාව හොයල දුන්න විතරක් නෙමෙයි මට නවතින්න එයාලගෙ ගෙදර ඉඩත් දුන්නා. කන්න බොන්න ඉන්න හිටින්න හැමදෙයක්ම දුන්නෙ එයාලා. ඒ ගැන මම මුලින්ම මතක් කරන්න ඕන. නමුත් මම මේ ගැන මාධ්‍යට කියන්න තීරණය කළේ මට වුණ අසාධාරණය නිසා’


‘මට හොඳට මතකයි මම රස්සාව ගන්න ප‍්‍රබෝධලගේ ගෙදර ගියේ 2012 දෙසැම්බර් 31 වැනිදා. මට ඊට පස්සෙ දවසක තමයි වැඩ භාරගන්න තිබුණේ. මුලින්ම මම ප‍්‍රබෝධලගෙ ගෙදර ඉන්න කොට හොඳ පිළිගැනීමක් තිබුණා. මට දරුවෙකුට වගේ සැලකුවා. ඒ පිළිගැනීම ටික ටික වෙනස් වෙන්න ගත්තෙ මට හිතෙන හැටියට එක සිදුවීමකින් පස්සෙ. ඒ තමයි ප‍්‍රබෝධ ටියුශන් කරනවා. එක දවසක් ප‍්‍රබෝධ මට කිව්වා එයාගේ ටියුශන්වල ටියුට් ටිකක් හදල දෙන්න කියලා. ඒත් මම ඒ වැඬේට කැමැති වුණේ නැහැ. එකක් මම කැලණියේ දර්ශනපති උපාධියේ පර්යේෂණ කටයුතුවල නිරතවෙලා හිටපු නිසා මට වෙලාවක් තිබුණෙ නැහැ. අනිත් එක මම සල්ලිවලට ටියුශන් දෙනවට අකැමැතියි. මම විශ්වවිද්‍යාලෙ ඉද්දි ටියුශන් කළා. ඒ ජීවත්වෙන්න විදිහක් තිබුණෙ නැති නිසා. මට ගෙදරින් සල්ලි එව්වෙ මාසෙකට රුපියල් 500ක් 1000ක් විතර. ඒ සල්ලි ජීවත්වෙන්න ඉගෙනගන්න ප‍්‍රමාණවත් නැහැ. නමුත් මම රස්සාවක් හම්බවුණාට පස්සෙ සල්ලිවලට උගන්වන එක නැවැත්තුවා. මේ හේතුව හින්ද වෙන්න ඕන ප‍්‍රබෝධ මුලින්ම මාත් එක්ක අමනාපකමක් ඇතිකර ගන්න ඇත්තෙ’

‘කොහොම හරි මේ කාලේ මම තවත් වැඩක් ආරම්භ කරලා තිබුණා. ඒ තමයි රස්සාවට ගිය දවසෙ ඉඳන් මගේ ජීවිත කතාව ලියන්න. මොකද මම ගොඩක් දුක් විඳලා මෙතැනට ආපු කෙනෙක්. අදටත් අපේ ගෙදර කුප්පිලාම්පුවෙන් තමයි එළිය ලබන්නෙ. අම්මා රුපියලකට දෙකකට බුලත් දඬු කපල තමයි අපිව ජීවත් කළේ. ඔන්න ඔය පසුබිම හින්දා මම මගේ කතාව ලියන්න ගත්තා. ඒ වගේම මගේ සාහිත්‍යයට උනන්දුවකුත් තිබුණා. නාට්‍ය, සංගීතය මම හදාරලා තියෙනවා. මම දැනුත් උත්සහ කරන්නේ බෞද්ධ දර්ශනය කොහොමද සාහිත්‍යමය ලෙස ගෙනියන්නෙ කියලා. ඉතින් මෙතැනදී චරිත ගැන ලියන එක හරි වැදගත්. මමත් මගේ පොතේ හැම චරිතයක් ගැනම එහි තියෙන වැදගත්කම ලිව්වා. ප‍්‍රබෝධලාගෙ ගෙදර සිදුවීමුත් ලිව්වා. මම දැනගෙන හිටියා කවද හරි ප‍්‍රබෝධ මේ සටහන් බලයි කියලා. මොකද එයාට ටියුට්ස් හදන්න මම ලියන කරන දේවල් ඕන වෙලා තිබුණා. මම ඒ ගැන වැඩිය කියන්න යන්නෙ නැහැ’

‘ඔන්න ඔය කාලෙ මම උගන්වපු අමරවංශ පිරිවෙනේ අධ්‍යාපන චාරිකාවකට සම්බන්ධ වෙන්න මට සිදුවුණා. හරියටම දිනය කියනවා නම් 2013 මාර්තු 05 වැනිදා. එදා මමත් පිරිවෙනේ ටි‍්‍රප් එක ගියා. මාර්තු 08 වැනිදා මම ගෙදර ගියා. 10 වැනිදා මම නෝනගෙ ගෙදර ගියා. 11 වැනිදා තමයි මම ආයෙත් වැඩට යන්න ප‍්‍රබෝධලගෙ ගෙදර ගියේ’

‘ඒ යනකොට තමයි මගේ ගීත ටික නැතිවෙලා තිබුණේ. ඒ විතරක් නෙමෙයි මගේ සටහන් පොතත් නැතිවෙලා තිබුණා. ලොකු මැනේජ්මන්ට් ඩයිරි එකක තමයි සින්දු ටික ලියලා දාල තිබුණේ. මම ඒක මගේ පණ වගේ රැකගෙන හිටපු දෙයක්. මොකද මට දැනිල තිබුණා කවදහරි මේ සින්දු යම් පුද්ගලයෙක් මගෙන් හොරකම් කරයි කියලා. කොහොමහරි මම යනකොට ප‍්‍රබෝධලා අර සටහන් පොත් බලලා සින්දු ටිකත් අරගෙන’

‘ඒ ගෙදර ඉස්සර තිබුණ තරම්වත් පිළිගැනීමක් මට තිබුණේ නැහැ. හැමදේම වෙනස්වෙලා තිබුණා. ගෙදර අය මට හින්ට් ගැහුවා. ප‍්‍රබෝධලගේ අම්මම කියනවා මට ඇහුණා ‘සමහරු හරියට ඩයරියක්වත් ලියන්න දන්නෙ නෑ නේද’ කියලා. ඒ වගේම මගේ සින්දු ගැන කතාවෙනවත් ඇහුණා. මට හොඳටම මතකයි මගේ සින්දු විකුණන්න පුළුවන් කියලා කතා වුණා. අමිල කියලා පුද්ගලයකුට සින්දු දෙන්න පුළුවන් කියලත් කතා වුණා. ඒවා මගේ කන් දෙකට ඇහුණා. නමුත් මම හිතුවා ඒ අය එහෙම කරන එකක් නැහැ කියලා. මොකද ප‍්‍රබෝධ ළඟ හොඳ ගතිගුණත් තිබුණා. මම හිතාගෙන හිටියේ ඒ සින්දු ටිකෙන් මගේ ඊළඟ පොතත් එළිදක්වන්න’

‘ ඔය විදිහට ඒ ගෙදර ඉන්න බැරි නිසා මම එහෙන් පිටවෙලා වෙනත් බෝඩිමකට ගියා. නමුත් මට සින්දු ටික ලැබුණෙ නැහැ. මම කැලණියෙ ඉන්න මිස්ට කතා කරලා මේ වුණ දේ කිව්වා. මිස් ප‍්‍රබෝධගෙන් ඒ ගැන අහපුවාම එයා කියල තියෙන්නෙ ‘මම ඔහොම එකක් ගත්තෙ නැහැ. ඌට පිස්සු’ කියලා. නමුත් මට දැන් හොඳටම විශ්වාසයි මගෙ සින්දු ටික ගනුදෙනු වෙලා කියලා’

මේ ආකාරයෙන් චන්ද්‍රරත්න ජයසිංහගේ පද රචනා ප‍්‍රබෝධ කහඳගම නම් පුද්ගලයාගේ නිවසේදී නැති වූ බවට දීර්ඝ පැහැදිලි කිරීමක් ඔහු විසින් අප වෙත සිදුකරන ලදී. ඒ අනුව අප හඳුනාගැනීම වූයේ 2012 මාර්තු 05 හෝ ඊට ආසන්න දිනකදී චන්ද්‍රරත්න ජයසිංහගේ පද රචනා වෙනත් අයකු වෙත ලැබීමේ ඉඩක් තිබෙන බවය. එසේම ප‍්‍රබෝධ හැර වෙනත් පුද්ගලයකු වෙත චන්ද්‍රරත්නගේ පද්‍ය රචනා ලබාදී ඇද්දැයි අප කළ විමසුමට චන්ද්‍රරත්න පිළිතුරු ලබාදුන්නේ මෙසේය.

‘එකපාරක් රුහුණු විශ්වවිද්‍යාලයේ තිබුණ වැඩකදී මම මගේ ඔය ගීත රචනා ටික සුනිල් එදිරිසිංහ මහත්මයාට ලබාදුන්නා. ඒ දුන්න හැම එකකම පද පේළි විතරක් නෙමෙයි, ඒකට සංගීතය එන්න ඕන කොහොමද? සංගීතය යොදන්න ගන්න ඕන කාවද? කොයි ගායකයා කිව්වොත්ද ඒ ගීතයට සාධාරණයක් ඉෂ්ට වෙන්නෙ කියන දේත් මම ලියනවා. මේ මම ලියපු හැම සින්දුවකම ඒ වගේ සටහන් යොදල තියෙනවා. ඒ වගේම කාටද දුන්නෙ කියන එකත් ලියල තියෙනවා. (එසේ කියමින් ඔහු තමන් සතුව ඒ වනවිට ඉතිරිව තිබූ ගීත කිහිපයක් සහ ඒ වෙනුවෙන් යොදන ලද සටහන් කිහිපයක් අප වෙත පෙන්වා සිටියේය) ඔය ‘ ඉකි ගසා හඬන’ ගීතයත් මම සුනිල් එදිරිසිංහ මහත්මයට දෙනකොට ඒක අමරසිරි පීරිස් ගායකයට දෙන්න කියලා ලියල තිබුණා. ඒ වගේම මම දැනගෙන හිටියා මේ ගීතයට සාධාරණයක් ඉෂ්ට වෙන විදිහේ තනුවක් තියෙන්නෙ දර්ශන ළඟ කියලා. ඒ නිසා හැමදෙයක්ම නාට්‍යයක වගේ සටහන් දාලා තමයි තිබුණේ. මේකෙ පිරිපහදු කරන්න කලින් සටහන අපේ ගෙදර තිබුණා. අවාසනාවට මට ඒක හොයාගන්න බැරිවුණා. නමුත් මේ සින්දුවේ අනිත් සටහන් ඔක්කොම ප‍්‍රබෝධ ගත්ත එකේ තියෙනවා. දෙසැම්බර් මාසෙ මම මේ මගේ සින්දුව වෙන කෙනෙක්ගෙ පද රචනයක් ලෙස විකාශනය වෙනව කියල දැනගත්තාම සුනිල් මහත්මයට කතා කළා. නමුත් එයා ළඟත් ඒ සටහන් නැතිවෙලාලූ’ 

‘මම මට වුණ මේ අසාධාරණයට විරුද්ධව නීතිය හමුවටත් යන්න බලාපොරොත්තු වෙනවා. මට දැනෙනවා මෙතැන අත යට ගනුදෙනුවක් සිද්ධවෙලා කියලා. මම මේ ගැන හොයන කොට අමිල තේනුවර වෙනත් නම්වලින් මට කතාකරලා තියෙනවා. 

මගේ ෆෝන් එකේ තිබුණට ඒවා ඞීටේල් බිල්වලවත් නැහැ. මෙතැන මොකක් හරි දෙයක් තියෙනවා’ මේ ආකාරයෙන් ඔහු තමන්ට සිදුවී ඇති අසාධාරණයත් එනිසාම තමන් මානසිකව දැඩි වෙහෙසකට පත්වී ඇති බව අප සමග පැවසීය. සමහර දින වකවානු තමන්ට නිශ්චිත නැති බවත් ඒවා තම දින සටහන්වල නිවැරැදිවම සටහන් කොට ඇති බවත් ඔහු අප සමග පැවසූයෙන් අප පෙරළා ඔහුට දන්වා සිටියේ වෙනත් දිනයක අප ඔහුට අමතන විට එකී දින සටහන් නිවැරැදිව තහවුරු කරගෙන තබා ගන්නා ලෙසයි. එතැනින් එදින චන්ද්‍රරත්නත් සමග අපගේ කතාබහ නිමාවට පත්විය. එහෙත් අප ගවේෂණ කටයුත්ත එතැනින් නිමා වූයේ නැත. අප අන්තර්ජාලයේ මෙන්ම සිදුවීමට අදාළ වෙනත් සෑම පාර්ශ්වයක් වෙතින්ම මේ පිළිබඳ විමසා බැලීම් සිදුකරනු ලැබීය. එහිදී චන්ද්‍රරත්නට කොතැනක හෝ වැරැදී තිබෙන බව අන්තර්ජාල සාක්ෂියක් වෙතින් තහවුරු කරගැනීමට අපට හැකි විය.

අප ඊට පසු දින චන්ද්‍රරත්නට දුරකතන ඇමතුමක් ලබා ගත්තේ එම සාක්ෂියද අප සතුව තබා ගනිමිනි. පහත පළවනුයේ එදින අපත් චන්ද්‍රරත්නත් අතර සිදුවූ කතා බහය.

රන්දිව: චන්ද්‍රරත්න ඔයා හරියට දින වකවානු සටහන් කරගත්ත නේද? අපිට කියන්න පුළුවන්ද කොයි කාලෙද මේ සින්දුව ලිව්වෙ කියලා? 

චන්ද්‍රරත්න: මට ලියපු කාලෙ නම් හරියටම මතක නෑ. සටහන් ටිකත් නෑනෙ. ඒත් සුනිල් එදිරිසිංහ මහත්මයට සින්දු ටික දුන්නෙ 2012 මාර්තු 06 වැනිදා. අර රුහුණු කැම්පස් එකේ තිබුණු උත්සවයෙදි. 

රන්දිව: සුනිල් එදිරිසිංහ මහත්මයට සින්දු දෙන්න කලින් සහ ප‍්‍රබෝධ මේ සින්දු ගන්න කලින් වෙනත් කෙනෙක් අතට මේ සින්දු පත්වුණේ නැහැ කියලා ඔයාට විශ්වාසද? 

චන්ද්‍රරත්න: නෑ. කාටවත් දිල නැහැ. වෙන කෙනෙකුට ගන්න විදිහක් නැහැ. 

රන්දිව: 2012 මාර්තු 06 තමයි එහෙනම් පද රචනා ටික පළවෙනි වතාවට එළියට යන්නෙ? 

චන්ද්‍රරත්න: ඔව්. 

රන්දිව: නමුත් මෙහෙම දෙයක් තියෙනවා. අපි මේ ගැන කළ සොයා බැලීමේදී YouTube තිබිලා. 2011 අගෝස්තු 26 වැනිදා Upload  කරපු වීඩියෝ එකක් හම්බවුණා. එතකොට ඔයා කියන දින වකවානු ගැළපෙන්නෙ නැහැ. 

චන්ද්‍රරත්න: ඔබතුමාට විශ්වාසද ඔය කියන පද මාලාව, ඔය කියන සංගීතය එක්ක ගත්තහම ඒ ඔය සින්දුවම කියලා? 

රන්දිව: ඔව්. ඒ ගැන අපි පරීක්ෂා කළා. ඒ වීඩියෝ එක දාල තියෙන්නෙ Gaini Ruwan කියල කෙනෙක්.  www.youtube.com/watch?v=Kmi1uw7ntB8  කියන ලින්ක් එකෙන් ඔයාට ඒක බලාගන්න පුළුවන්.

චන්ද්‍රරත්න: මට ඒ ගැන තව පරීක්ෂා කරන්න ඕන.

අපට අනුව නම් දැනට චන්ද්‍රරත්නට කොතැනක හෝ වැරැදීමක් සිදුව තිබේ. එපමණක් නොව චන්ද්‍රරත්න තමන් විසින් ලියන ලද ගීත බවට ප‍්‍රසිද්ධ විද්‍යුත් මාධ්‍ය කිහිපයක තේමා ගී සහ තවත් ජනප‍්‍රිය ගායක ගායිකාවන්ගේ ගීත ඛණ්ඩ ඇතුළත් ලේඛනයක්ද ඉදිරිපත් කරනු ලැබීය. ඉන් එකක් නම් රංගිරි ශ‍්‍රී ලංකා ගුවන්විදුලියේ තේමා ගීයකි. එහිද පද රචනය චන්ද්‍රරත්නගේ යැයි පැවසුවද එම ගීතය පටිගත කළ කාලවකවානුව සහ චන්ද්‍රරත්න සඳහන් කරන දින වකවානුවල ඇත්තේ පරස්පරයකි.

අද අප මේ සූදානම් වන්නේ චන්ද්‍රරත්න බොරුකාරයකු කොට කුරුසයේ තබා ඇණ ගැසීමට නොවේ. ඒ වෙනුවට මෙම අත්දැකීම චන්ද්‍රරත්න මෙන්ම ඔහු වැනි තවත් අංකුර ගීත රචකයන්ට මෙය පාඩමක් කරගැනීමට යෝජනා කිරීමටය. වංචාකරුවන් ප්‍රෝඩාකාරයන් දූෂිතයන් අප රටේ හිඟ නැති පසුබිමක අප මාධ්‍ය භාවිතයේ නිරතව සිටියි. ඒ අතින් ඔබලා අහිංසකය. එහෙත් ඔබගේ සමහර අහිංසක හැසිරීම් තවත් අයෙකු වෙත හිංසාකාරීවන බව තේරුම් ගැනීම වැදගත්ය. යමෙකු අතින් වැරැදි සිදුවිය හැකිය. ඊට සමාව දිය යුතුව ඇත. එහෙත් එසේ සමාව හිමිවනුයේ නොදැන කරන වැරැදිවලට මිස දැනුවත්ව කරන තක්කඩිකම්වලට නම් නොවන බව සිහිතබා ගැනීම වැදගත්ය. එහෙයින් දැනට මෙම සටහන අප අවසන් කරන්නේ චන්ද්‍රරත්න ඔබට කොතැනක හෝ වැරැදීමක් සිදුව ඇති බව පවසමිනි.




ප‍්‍රසිද්ධ වෙන්න මිනිස්සුන්ට මඩ ගහන්න එපා.
  • ප‍්‍රබෝධ කහඳගම

ඔබ චන්ද්‍රරත්න ජයසිංහ කියන පුද්ගලයව අඳුරනවද?
ඔව්.

දැන් තරහද? නැත්නම් මිත‍්‍රත්වයක් තියෙනවද?
එහෙම ගැටලූවක් නැහැ. මේ ඊයේ පෙරේදත් ඔය ගැටලූවක් ගැන කතා කළා. මම හිතන්නේ එයාට මානසික ප‍්‍රශ්නයක් ද කොහෙදෝ තියෙන්නේ.

ඔබ චන්ද්‍රරත්න ජයසිංහ කියන පුද්ගලයා ඔබේ නිවසේ නැවතී සිටින කාලයකදී ඔබ ඔහුට අයත් ගීත රචනා ලබාගත් බවට කියන චෝදනාව ගැන මොකද කියන්නේ?
මම එහෙම ගීත වගයක් අරගෙන නැහැ. ඔය පුද්ගලයාට මම ගොඩක් උදව් කරලා තියෙනවා. රැකියාවක් පවා හොයලා දෙන්නේ මම. මට ඔහුගේ නිර්මාණ මංකොල්ල කන්න අවශ්‍ය නැහැ. ඒ තරම් අයකුත් නෙවෙයි ඔහු. ඒ පුද්ගලයාට අවශ්‍ය ප‍්‍රසිද්ධ වෙන්න. ප‍්‍රසිද්ධ වෙන්න ඕනේ නම් මනුස්සයෙක්ට කාටවත් මඩගහගෙන ප‍්‍රසිද්ධ වෙන්න අවශ්‍ය නැහැ. ඒකට අරලියගහමන්දිරේ ඉස්සරහට ගිහිල්ලා පහරන්න කියන්න. එහෙම වුණොත් එයාට ප‍්‍රසිද්ධ වෙන්න පුළුවන්. හැබැයි එහෙම කළොත් මුළු ගම්මානයටම, රටටම ගඳ ගහනවා මිසක් කාටවත් චෝදනා කරලා ප‍්‍රසිද්ධ වෙන්න බැහැ.

ඔබ අමිල තේනුවරව අඳුරනවාද?
එහෙම කෙනෙක් මම අහලා තියෙනවා. අද වෙනකල් මම කතා කරලවත් දැනහැඳුනුම්කමක් වත් නැහැ. හැබැයි ගීත නිර්මාණ ශිල්පියෙක් කියලා මම අහලා තියෙනවා.

චන්ද්‍රරත්න ජයසිංහ මේ කාරණය නීතිය හමුවට ගෙනියන බවට ප‍්‍රකාශයක් කරලා තියෙනවා. මේ සම්බන්ධව නීතිය ඉදිරියේ පිළිතුරු දෙන්න ඔබ සූදානම්ද?
ඔව්. පැහැදිලිවම මේ සම්බන්ධයෙන් නීතිය හමුවට ගිහින්, පොලිස් පරීක්ෂණයක් ආවොත් අපිට ඒ විදිහට කි‍්‍රයාත්මක වෙන්න පුළුවන්. ඒ වගේම මම, එයා නීතිමය කි‍්‍රයාමාර්ගයකට ගියොත් මටත් පුළුවන් අපහාස නඩුවක් දාන්න. එහෙම නැතුව ‘රන්දිවෙන්’ ඇහුවා කියලා මට කි‍්‍රයා මාර්ගයක් ගන්න බැහැනේ.



මම ඔය ගීතය ලිව්වේ අවුරුදු හය හතකට කලින්.
  • අමිල තේනුවර

සමනල සංධ්වනිය චිත‍්‍රපටයට ඔබ රචනා කරපු ‘ඉකි ගසා හඬන’ කියන ගීතය ඔබ අතින් ලියැවෙන්නේ කොයි කාලයේද?
චිත‍්‍රපටයට කලින් ඔය ගීතය ලියැවුණේ. අවුරුදු හය හතකට කලින් අපි යූ ටියුබ් එකටත් ඔය ගීතය දැම්මා. ඊට පස්සෙ ඔය ගීතයට වයලින් කොටසක් එහෙම දාලා තමයි චිත‍්‍රපටයට නැවත යොදාගන්නේ. 

ප‍්‍රබෝධ කහඳගම කියලා කෙනෙක්ව අඳුරනවද? 
නැහැ මම අඳුරන්නේ නැහැ. ඔහු ඔබට මේ ගීතය විකුණුවා කියලා චෝදනාවක් තියෙනවා. 

ඒ ගැන ඔබ දැනුවත්ද? 
නැහැ, නැහැ. කවුද මනුස්සයෙක් කතා කරලා තිබුණා සුනිල් එදිරිසිංහට, රුහුණු විශ්වවිද්‍යාලයේදී ගීත වගයක් දුන්නා හම්බුණාද කියලා. එතකොට සුනිල් එදිරිසිංහ කියලා හම්බවෙන්න ඇති, ගේ හදනකොට නැතිවෙලා වෙන්න ඇති, දැන් මං ගාව නැහැ කියලා. ඒ මනුස්සයා කියලා තියෙනවා අමරසිරි පීරිස්ට දෙන්න කියලා තමයි සුනිල් එදිරිසිංහට ඒ සින්දුව දුන්නේ කියලා. මට මේක කිව්වේ සුනිල් එදිරිසිංහ. ඊට පස්සෙ අමරසිරි පීරිස් කතා කරලා ඒ මනුස්සයගෙන් අහනවා මේක ඔයා කවද්ද ලිව්වේ කියලා. එතකොට ඒ මනුස්සයා කියලා අවුරුදු තුන හතරකට කලින් මේක ලිව්වේ කියලා. එතකොට අමරසිරි පීරිස් කියලා තියෙනවා අවුරුදු හතකට අටකට කලින් තමයි මේක රෙකෝඩින් කරලා වොයිසුත් කළේ කියලා.



අමිලගේ බිරිඳ මේ ගීතය ලිව්ව කියලත් කතාවක් තියෙනවා.
  • දර්ශන රුවන් දිසානායක

සමනල සංධ්වනිය චිත‍්‍රපටයේ තේමා ගීතය වන ‘ඉකිගසා හඬන’ ගීතය ඔබ අමිල තේනුවරගෙන් ලබාගත්තේ කොයි කාලයේද? 
අවුරුදු පහකට හයකට විතර කලින්. 

මොකක්ද මේ ඒ ගීතය හොරකම් කරපු එකක් කියන චෝදනාව? 
ඔය ගීතයයි, අමරසිරි පීරිස්ගේ ‘කාත් කවුරුවත්’ කියන ගීතයත් අපි එකම දවසේ රෙකෝඩින් කළේ. ටොරානා ස්ටුඩියෝ එක තමා ඒකට යොදාගත්තේ. ඊට පස්සෙ චිත‍්‍රපටයට නැවත ගීතය පටිගත කිරීමක් සිදු වුණා. ‘මේ තරම් සියුමැලිද කළු ගල්’ කියන ගීතයටත් ඔය වගේම ගීත රචකයෝ හතර දෙනෙක් ඉදිරිපත් වුණා. හැබැයි ඒ කිසිම කෙනෙක්ට බැරි වුණා ඒක එයාලගේ කියලා ඔප්පු කරන්න. නඩුවක්වත් දැම්මේ නැහැ. 2004 ‘දුන්හිඳ දුප්පත්වෙලා’ කියලා ඔය ගීතය රචනා කරපු පුද්ගලයාගේ කවි පොතේ පවා තියෙනවා. ඕක පිටිපස්සේ ඉන්නේ වෙන මිනිහෙක්. ජනවාරි 25 තියෙනවා ෆිල්ම් ෆෙස්ටිවල් එකක්. මේකෙදී අනිවාර්යයෙන්ම හොඳම ගීත රචනයටත් සම්මාන හම්බවෙනවා. හැබැයි මේ ගීතය ගැන ගැටලූවක් මතු කරලා ඒක වළක්වන උත්සහයක් තමයි ඔය තියෙන්නේ. නිකන් මෝඩ, අහිංසක මිනිහෙක් අල්ලගෙන මෙහෙය වන වෙන කෙනෙක් තමයි ඔය පසුබිමේ ඉන්නෙ. 

මේ ගීතය රචනාව තමන්ගේ කියලා ඉදිරිපත් වෙන පුද්ගලයා නඩු මාර්ගයට යනවලූ. මේකට සූදානම්ද? 
ඒක කරන්න කියන්න. හැබැයි කවදාවත් ඔය අය නීති මාර්ගයට යන්නෙ නැහැ. දැන් අපි බලාගෙන ඉන්නේ ඔය පුද්ගලයාගේ ප‍්‍රකාශයක් පත්තරයකින් හරි ඉදිරිපත් වෙනකම්. එතකොට අපි ඒකට විරුද්ධව නඩුවක් දානවා. එතකම් තමයි අපි ඉන්නේ. අපි හිතමු රන්දිවෙන් ඕක ගියා කියලා. අපි ‘රන්දිව’ට විරුද්ධව නඩු දානවා. ඔයා දන්නවද අමිල තේනුවරගේ බිරිඳත් කතාකරලා සංස්කෘතික දෙපාර්තමේන්තුවට කියල තියෙනවා, ඒ සින්දුව ලිව්වෙ එයා කියලා.



සංජය ලියනගේ - විමුක්ති දුෂාන්ත රාවණසිංහ.
රන්දිව ගවේෂණ, 2013 දෙසැම්බර් 29 වැනිදා ඉරිදා


No comments:

Post a Comment