බෝතල් වතුරෙත් මඩ මෙන්න පිටකොටුවේ වැඩ.
පිටකොටුවට එන ජනතාවට පිපාසාව නිවා ගැනීමට මහත් අස්වැසිල්ලක් එහි සිටින ‘කූල් වතුර බෝතල්’ විකුණන ජංගම වෙළෙන්දුන් නිසා අත්වේ. එහෙත් ඒ බොහොමයක් නියමිත ප‍්‍රමිතියෙන් තොර බව අපට හැඟී ගියේ කාලයක පටන් ඒ ගැන කළ නිරීක්ෂණයෙනි. එනිසාම මෙවර අප අවධාණය යොමු කළේ පිටකොටුවේ වතුර බෝතල් වෙතය. මේ ඒ ගැන අප කළ සොයාබැලීමය. එහිදී පළමුවෙන්ම අප අවධානය යොමු වූයේ බස්තියන් මාවතේ නව බස් නැවතුමට තදාසන්න ස්ථානයකටය. එහි සිදුකළ සුළු නිරීක්ෂණයකින් පසුව එය ‘කූල් වතුර බෝතල්’ ජංගම වෙළෙඳුන් ජල බෝතල් රැුගෙන යන ස්ථානය වශයෙන් හඳුනාගැනීමට අපට හැකිවිය.
‘අයියේ මට වතුර බෝතල් 200ක් විතර ඕනෙ. කීය ගාණේ ගන්න පුළුවන්ද?’
‘එකක් රුපියල් 15 ගාණෙ දෙන්නම් මහත්තයා’
වෙළෙඳසලට ඇතුළුවීම වෙනුවෙන් එහි සිටි සේවක මහතෙකු සමග අප කතාබහ ආරම්භ කෙරුණේ එලෙසින්ය. මේ අතරතුර අපි එම මධ්‍යස්ථානයේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳ විමසිලිමත් වූයෙමු. එම මධ්‍යස්ථානයේ පසෙක ගොඩගසා තිබුණේ විශාල ජල බෝතල් තොගයකි. එය කිසිදු ගබඩා කිරීමේ නිවැරැුදි ආකාරයකට ගොඩගසා නොතිබූ අතර ඇතැම් බෝතල් තැලී ගිය ස්වභාවයෙන් ද යුතු විය. සමහරක දූවිලි පවා බැඳී තිබෙනු අප නිරීක්ෂණයට හසුවිය. අප එම වෙළෙඳසලට ගොඩවී සුළු වේලාවකින් එම මධ්‍යස්ථානයට දිව ආ ජංගම වෙළෙන්දකු නිසා එහි තබා තිබූ විශාල අධිශීතකරණය විවෘත කළ එහි සේවකයෙක් එකී වෙළෙන්දාට ජල බෝතල් ලබා දෙන්නට විය. ඇතැම් බෝතල් තැලී පොඩිවී ගිය ඒවා වූ අතර සේවකයන්ට ශීතකරණය ඉක්මනින් වසා දැම්මේ වුවමනාවක්ද නොවූයෙන් එය තුළට ඇස පොවා ගැනීමට අපට හැකිවිය. එතුළ තිබුණේ ‘ජල බෝතල්’ පමණක් නොවේ. විශාල ප‍්‍රමාණයේ අයිස් කුට්ටි එම බෝතල් මත තබා තිබූ අතර පිදුරු, ලී කුඩු, කාඞ්බෝඞ් කැබලි වැනි දේ ද එකී ශීිතකරණය තුළ විය. සැබැවින්ම අප නිරීක්ෂණයට හසුවූ මොහොතේදී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒ තුළ අපිරිසුදුය.
ගිනි මද්දහනේ වුවද පිටකොටුවේ ‘වතුර බෝතල්’ පට්ට කූල් වීමට හේතුව විශාල අයිස් කුට්ටි මෙන්ම පිදුරු හා ලී කුඩු වැනි අපද්‍රව්‍ය යොදාගෙන ඒ තුළින් අධික සීතලකට ලක් කිරීම බව එහිදී තහවුරු විණ. මෙසේ අධිශීත තත්ත්වයකට පත් කිරීමට හේතුව කුමක්ද? අප ගවේෂණයේ මීළඟ අදියර වෙන්වූයේ ඒ වෙනුවෙනි. ඒ සඳහා බස්තියන් මාවතෙන් නික්ම අපි ගුණසිංහපුර බස් නැවතුම හා ඒ අවට ප‍්‍රදේශය පුරා ගවේෂණ මෙහෙය වූවෙමු. එහිදී ආරක්ෂක වැස්ම නොමැති හා ලේබල් නොමැති බෝතල් පවා විකිණීමට තිබෙනු දැක ගත හැකිවිය. අපට නිරීක්ෂණය කළ හැකි සුවිශේෂීම කරුණක් වූයේ ඇතැම් වෙළෙඳසල්වල වර්ග කිහිපයකින් වතුර බෝතල් තිබීමයි. කෙසේ නමුත් අපට අවසානයේ පිටකොටුව අවට තදාසන්න ප‍්‍රදේශයක පවත්වාගෙන යන වතුර බෝතල් නැවත පිරවීමේ මධ්‍යස්ථානයක සේවය කරන අයකු මුණගැසීමට හැකිවිය. ඒ අප හිතවතෙකුගේම මාර්ගයෙනි.
‘අපේ මුදලාලිට වතුර පුරවන කඩ හතරක් තියෙනවා. ඒ හැම එකකම දෙතුන් දෙනෙක් වැඩකරනවා. අපි කරන්නේ පිටකොටුවේ හැම තැනින්ම හම්බවෙන එම්ටි වතුර බෝතල් සුද්ධ කරලා ඒවට ටැප් වතුර පුරවන එක. අපි මූඩිය, බෝතලේ එහෙම හොඳට හෝදලා අතුල්ලලා කරලා කාරිය ගත්තහම අවුලක් නැහැ. අලූත් බඩු වගේම තියෙනවා. අනික මේක මරු බිස්නස් එක. අපිට එම්ටි බෝතල් ගෙනත් දෙන්නත් වෙනම අය ඉන්නවා. උන් කරන්නේ බස් ඇතුළේ, රැුක් උඩ, පාරේ එහෙම දාලා යන බෝතල් අරන් එන එක. බෝතලේකට උන්ට මුදලාලි පොඩි ගාණක් ගෙවනවා. අර බෝතල් වොෂ් කරලා එහෙම අරගෙන අපි ටැප් එකෙන් වතුර පුරවලා ඒ හැම බෝතලේකටම ලේබල් අලවනවා. සාමාන්‍යයෙන් වර්ග පහක විතර ලේබල් අපි ගාව තියෙනවා. ඒවා මුදලාලිමයි පි‍්‍රන්ට් කරවන්නෙ. ගොඩක් ප‍්‍රසිද්ධ කොම්පැනිවල ලේබල් පවා අපි අලවනවා. අනිත් එක තමයි ඉටිකොළ සීල් එක. අර බෝතලේ මූඩියට පිටින් අල්ලන්නෙ. මාලිගාවත්තෙ තියෙන පොට් එකක ඒවා තොග ගාණට තියෙනවා. මේ අපි පුරවලා ඉවර බෝතලේ මූඩිය පැත්තෙන් මේ ඉටිකොළේ දාලා තද කරනවා. ඒක හදලා තියෙන්නේ ඒ විදිහට ලොක් වෙන්න. එතකොට ඒ අපි පුරවපුවා කියලා කාටවත් හොයන්න බෑ’
‘ඔය වතුර බෝතල් වලට ටැප් වතුර පිරෙව්වට පස්සේ ටික කාලයක්වත් තියාගන්න බෑ. අමුතු රහක් එනවා. ඔය වතුර බෝතල් කරද්දි එක එක රසායනික ද්‍රව්‍ය එකතු කරනවනේ. ඒ වතුර පල්නොවී තියෙන්න. අපේ මුදලාලිගෙ වතුර කවදාවත් කූල් නොකර දෙන්නෙ නෑ, ඕනම වෙලාවක කූල් කරලා තියෙන්නෙ. මොකද එතකොට වතුර පරණ වෙලා එන ‘පල් රස’ කූල් වැඩි නිසා දැනෙන්නෙ නෑ’
සැබැවින්ම අප පිටකොටුව ප‍්‍රදේශයෙන් මිලදී ගත් කිසිදු පානීය වතුර බෝතලයකට ප්ලාස්ටික් පියන සමග කැඞී යන ප්ලාස්ටික් වළල්ලක් තිබුණේ නැත. බෝතල් ආවරණය කර තිබූ ආරක්ෂක වැස්ම ඉරා දැමීමට වඩා තද කර අල්ලා ඉවතට ගෙන දැමිය හැකි එකක් විය. මීට අමතරව අප නිරීක්ෂණය කළ වර්ග කිහිපයක බෝතල් නිසැකවම නැවත පිරවූ බෝතල් බව අපට වැටහී ගියේ වර්ග කිහිපයකින් ජල බෝතල් එක දෙක බැගින් මිලදී ගැනීමේ පුරුද්දක් වෙළෙඳසල් හිමියන් සතු නොවන බැවිනි. බොහෝ ජංගම වෙළෙඳුන්ගේ බහාලූම් තුළත් කුඩා ප‍්‍රමාණයේ කඩවලත් එම තත්ත්වය එසේය. වර්තමානයේ බොහෝ ජල බෝතල් නිෂ්පාදකයන්ට එල්ලවී ඇති චෝදනාවක් වන්නේ එම බෝතලය ඇතුළු පැත්තෙන් ප්ලාස්ටික් ආවරණය මතින් දමන ‘කෝටීන්’ නමැති රසායනික ආවරණය තුනී ස්වභාවයක් ගන්නා බවටයි. මේ ‘කෝටීන්’ ආවරණයේ වැදගත්කම ඉස්මතු වන්නේ ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදන කි‍්‍රයාවලියේදී යොදාගන්නා ප්ලාස්ටික් කෙඳි ජලයේ දියවීම විෂ ජලය බීමක් හා සමාන වන නිසාය. එකී ප්ලාස්ටික් කෙඳි හා ජලය අතර ඇති මෙම ‘කෝටීන්’ ආවරණයට බෝතලය තැලීමෙන් හානි විය හැකිය. එසේ හානි වූ විට ජලය විෂ වීමක් නිතැනින්ම සිදුවේ. විශේෂයෙන් හිරු එළියේ තැබීමෙන් මෙම කි‍්‍රයාවලිය තවදුරටත් වේගවත් වේ. ගැටලූව මතුවන්නේ එහිදීය. පිටකොටුව ප‍්‍රදේශයේ අලෙවි වන්නේ තැලී ගිය පානීය ජල බෝතල්ය. එපමණක් නොව ඒවා පවතින්නේ බොහෝ කාලයක් හිරු එළියට නිරාවරණයද වෙමිනි. එතුළ මේ ජලය විෂ සහගතවීම වැළැක්විය හැකි දෙයක් නොවේ.
පිටකොටුව බස්තියන් මාවතේ බස් නැවතුම ඉදිරිපිට වැසිකිළිය අසලදී අප මිලදී ගත් ජල බෝතලයක් පරීක්ෂා කිරීමේදී එම බෝතලයේ ලේබලය අනුව ලියාපදිංචි වී අත්තේ 2009 පළමු වැනි මාසයේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය පානීය බෝතල් නිෂ්පාදකයකුට ලබාදෙන උපරිම ලියාපදිංචි කාලය වසර තුනකි. එනම් මෙම ආයතනයට ලබාදී ඇත්තේ වසර තුනක ලියාපදිංචියක් නම් එම බෝතලයේම සඳහන් වන නිෂ්පාදිත දිනය අනුව මේතාක් මාස 8ක් පමණ ඔවුන් නිෂ්පාදනයේ යෙදී ඇත්තේ ලියාපදිංචියක් නොමැතිවය. කෙසේ නමුත් මෙම කරුණ අප එම ආයතනයේ ප‍්‍රධානියාගෙන් දුරකතන ඇමතුමක් මඟින් විමසීමට අපි තීරණය කළෙමු.
‘මේ.... කම්පැනි එකෙන්ද?’
‘ඔව්! කවුද ඔයා?’
‘මම ‘රන්දිව’ පත්තරෙන්. මට දැනගන්න ඕනෙ ඔයාලගේ කම්පැනි එකේ වතුර බෝතල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි කරලා තියෙනවද කියලා’
‘ඔව්. මේ මාසේ ලියාපදිංචිය අලූත් කළා’
‘හැබැයි 2013.08.09 නිෂ්පාදිත දිනය විදිහට තියෙන වතුර බෝතලයේ තියෙන්නේ 2009 පළමුවැනි මාසේ ලියාපදිංචි අංකය’
‘මේකයි මහතත්යා, අපි ලියාපදිංචිය අලූත කරන්න ඇප්ලයි කරලා අවුරුදු එකහමාරක් විතර වෙනවා. එත් අපිට ලියාපදිංචිය ලැබුණේ මේ මාසේ’
‘එතකොට මෙච්චර කාලයක් නිෂ්පාදනය කළේ ලියාපදිංචිය අලුත් කිරීමක් නැතුව, අනික මේ මාසේ ලියාපදිංචිය ගත්තා නම් කොහොමද මේ මාසේ නිෂ්පාදිත දිනය තියන බෝතලයේ පරන ලියාපදිංචි අංකය ම තියෙන්නේ?’
‘මහතත්යා නම් කියයි. මේකට මම ලොකු ගාණක් යට කරලා තියනවා. ළමයි දහයක් දොළහක් වැඩකරනවා. මම කොහොමද මේකනවත්වන්නේ?’
එකී ආයතනයේ හිමිකරුවා පවසන අන්දමට තම සේවකයන් හෝ ප්‍රාග්දනය වෙනුවෙන් යැයි පවසමින් ඔහු නීතී විරෝධීව පානීය ජල බෝතල් නිෂ්පාදනය කර ඇත. ඒ අනුව පිටකොටුවේ පමණක් නොව රට පුරාම ජනතාවට මෙම සමාගම විකුණා ඇත්තේ කිසිදු නියාමනයකින් තොර නිෂ්පාදනයකි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ 2013.07.23 දින වනවිට ලියාපදිංචිව ඇති ජල බෝතල් නිෂ්පාදකයන්ගේ ප්‍රමාණය 86කි. නමුත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS සහතකිය සඳහා ලියාපදිංචිව ඇති පානීය ජල බෝතල් නිෂ්පාදකයන්ගේ ප්‍රමාණය 40කි. පානීය ජල බෝතලයක් විකිණීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන් ම SLS සහතකිය ද අනිවාර්‍යය. එහෙත් රජයේ මෙම වාර්තා දෙකට අනුව ශ්‍රී ලංකාවේ පානීය ජල බෝතල් නිෂ්පාදනය කරන සමාගම් 40කට වැඩි පිරිසක් ම රටේ ජනතාවට මුදල් ගෙන අලෙවි කරන්නේ ප්‍රමිතියෙන් තොර වතුර ය.
‘ මාධ්‍ය වැඩකරන්නේ මුදල් ප‍්‍රමුඛ කරගෙනනේ?’ එතකොට ඔයා.......?
ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයෙන් ලබාගත් වාර්තාව හා සසඳා බලනවිට බොහෝ පානීය ජල බෝතල් නිෂ්පාදකයන් එස්.එල්.එස්. සහතිකය ලබාගෙන නැත. ජල බෝතලයේ ලේබලය මත SLS සඳහන්ව තිබුණද, ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයෙන් ලබාගත් වාර්තාව අනුව SLS සහතිකය නොමැති ආයතන ගණනාවක්ම අපට හමුවිය. ඉන් එක්තරා ආයතනයකට අප ඇමැතුමක් ලබාදුන්විට තමන් SLSසහතිකය ලබා ඇති බව පැවසූ අතර පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකයෙක් යැයි කියාගන්නා අයෙක් අප ‘රන්දිව’ ගවේෂණ අංශයට ඇමැතුමක් ලබාදුණි.
නිලධාරියා - ඔයාලට කිසිම අයිතියක් නැහැ මේ අයගෙන් එස්.එල්.එස්. තියෙනවද අහන්න. එස්.එල්.එස්. තියෙනවද අහන්න පුළුවන් ප‍්‍රමිති ආයතනයට විතරයි. ඔයාලට බෑ. ආයේ මෙහෙම කරන්න එපා. අපිට සිද්ධ වෙනවා ඔයාල කප්පම් ඉල්ලනවා කියලා නඩු දාන්න. මෙහෙම බලපෑම් කරලා.
රන්දිව - අපි බලපෑමක් කළේ නෑ. විමසීමක් විතරයි කළේ. අපිට පාරිභෝගිකයෝ වශයෙන්වත් අයිතියක් නැද්ද මේ ගැන විමසීමක් කරන්න?
නිලධාරියා - පුළුවන්. හැබැයි ඔයාලා ඇහුවේ ආයතනික මට්ටමෙන්, එහෙම අහන්න බෑ. අනික ඔයාලා කතා කරලා තියෙන්නේ ඞීලර්ට.
රන්දිව - අපි කතා කළේ ලේබල් එකේ තියෙන දුරකතන අංකයට. ඒ ඇරෙන්න අපිට විමසීමක් කරන්න අංකයක් තිබුණේ නෑ.
නිලධාරියා - ඞීලර්ලා මේ වතුර හදන අයගේ අංක දාන්න යන්නේ නෑ, කෙළින්ම බිස්නස් එක එයාලට හැදෙයි කියලා.
රන්දිව - ගොඩක් ලේබල්වල ඔය කියන දෙන්නගේම අංක තිබුණා. නමුත් ඔය ආයතනයේ තිබුණේ අපි කතා කරපු අංකය විතරයි.
නිලධාරියා - ලේබල් එකේ නැද්ද ෆැක්ටරි එකේ විස්තර?
රන්දිව - තියෙන්නේ ලිපිනය විතරයි. දුරකතන අංකයක් නැහැ.
නිලධාරියා - දුරකතන අංකය ඒගොල්ලො දාලා නෑ?
රන්දිව - ඔව්. නිලධාරියා - කොහොම හරි මහත්තයෝ මෙහෙමයි. ඔය මාධ්‍ය වැඩකරන්නේ මිනිස්සුන්ගේ සුබ සිද්ධියට වඩා මුදල් ප‍්‍රමුඛ කරගෙනනේ, අපි එහෙම නෑ. මාසික වැටුපකට මේ මිනිස්සු වෙනුවෙන් අපි වැඩකරන්නේ. එයාලගේ හැම දේම කරලා දෙන්නේ අපි. අනික ඒ මිනිහට දුරකතන අංකයක් නැත්නම් කොහොමද දුරකතන අංකය දාන්නේ.
රන්දිව - දුරකතනයක් ගන්නවත් වත්කමක් නැති ආයතනයක් කොහොමද මේ වගේ අධික මුදලක් වැයවන කාර්යයක් කරන්නේ?
නිලධාරියා - ඒක නෙමෙයි මම කියන්නේ. දුරකතනයක් අනිවාර්යය නෑ කියන එක. ලේබල් පනතට අනුව ලිපිනය විතරයි දාන්න ඕනෙ.
රන්දිව - එතකොට මේ තත්ත්වයට කවුද වගකියන්න ඕනේ?
නිලධාරියා - ප‍්‍රමිති ආයතනය. එයාලා තමයි ගැටලූව ඇති කරලා තියෙන්නේ.
පසු සටහන :- ඉහත සමාගමේ නම අප මෙහි පළ කරන්නේ නැත. ඒ වැරැුදි කළ පුද්ගලයකුට එය සකස් කර ගැනීමට අවස්ථාවක් ලබාදෙමිනි. ඒ අපගේ මාධ්‍ය භාවිතාවයි. නමුත් පානීය ජලය බෝතල් කර විකුණන ආයතනයක් වෙනුවෙන් මාරාන්තිකව පෙනී සිටි තමන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු යැයි කියා ගත් පුද්ගලයා හා අප අතර සිදු වූ කතාබහ අප මෙසේ පළ කරන්නේ සැබෑවටම මෙවැනි පුද්ගලයන් නිරතවන්නේ ජනතා සේවයේද කොම්පැනිකාර මුදලාලිලාගේ සේවයේද යන්න ඔබටම තීරණය කර ගැනීමටය. එහෙත් මෙවැනි මුදලාලිකරණය වූ මහජන බදු මුදල්වලින් වැටුප් ගන්නා පුද්ගලයන්ට අපට කීමට ඇත්තේ ඔබලා මෙන්ම ඔබලා පෙනීසිටින මුදලාලිලාද තමන්ගේ වෘත්තීය වගකීම් නියමාකාරයෙන් ඉටු නොකරන්නේ නම් මෙතරම් හෝ සහනයක් අපගෙන් බලාපොරොත්තු නොවන ලෙසය. එදිනට මේ පිටු මත ඔබලාගේ නම් ගම් මෙන්ම සමාගම් නාමයන්ද ලියැවෙනු ඇත.
ප‍්‍රමිතියෙන් තොර වතුර බෝතල් විකුණනවා.
- මහින්ද කහඳවල - සභාපති ස්වයං රැුකියා නියුක්තිකයන්ගේ සංගමය.
අපි ජංගම වෙළෙඳුන්ට කියලා තියෙනවා එස්.එල්.එස්. ඇතුළු ප‍්‍රමිතියෙන් යුතු වතුර බෝතල් ගන්න කියලා. මේ ගැන අපි සොයා බැලීමකුත් සිදුකරනවා. පී.එච්.අයි. නිලධාරින් විසින් වැටලීමේ කටයුතුත් සිදුකරනවා. නමුත් ප‍්‍රමිතියෙන් තොර වතුර බෝතල් අලෙවි කිරීමක් සිද්ධවෙනවා. ඒක මම පිළිගන්නවා. නමුත් ඒ ගැන අපේ සංගමය වගකීමක් දරන්නේ නැහැ.
තොරතුරු දෙනවනම් කි‍්‍රයාමාර්ග ගන්නම්.
- ආහාර පාලන ඒකකය, සෞඛ්‍ය අමාත්‍යාංශය.
කිරිපිටි නිෂ්පාදන සම්බන්ධයෙන් උද්ගත වෙලා තියෙන රටේ හදිසි තත්ත්වය මත මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් කරන්න තරම් කාලයක් මට නැහැ. නමුත් පානීය ජල බෝතල් යම් සමාගමක් ලියාපදිංචි නොවී හෝ ලියාපදිංචිය අලූත් කිරීමක් නොකර අලෙවි කරන්න බැහැ. එවැනි සමාගම් ගැන අපිට තොරතුරු දෙනවා නම් අපිට පුළුවන් ඒ සඳහා කි‍්‍රයාමාර්ග ගන්න. ඒක ජාතික සේවාවක්.
විමුක්ති දුෂාන්ත රාවණසිංහ.
රන්දිව ගවේෂණ, 2013 සැප්තැම්බර් 01 වැනිදා ඉරිදා
ss
ReplyDelete